රංජන්ගේ නඩුවේ වාචික දේශන දෙසැම්බර් 4 වැනිදාට

Share

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ වාචික දේශන දෙසැම්බර් මස 4 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(24) සිසිර ද ආබෘ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල  දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළේ අදාළ දේශන දෙසැම්බර් මස 4 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

සාක්ෂි විභාගය ඉකුත්දා අවසන් කෙරුණි.

2017 වසරේ අගෝස්තු මස 21 වනදා කොළඹ,  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති රැස්වීමකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් බවට ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කරමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන අය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

 

Read more

Local News