රටේ ස්වෛරීභාවය ගැන සිතා “හංසයා” ලකුණට ඡන්දය දෙන්න

Share

පවුල්වාදය කරපින්නාගත් පොදුජන පෙරමුණේ නායකයන්ගේ සැඟවුණු බලාපොරොත්තුව ජනතාව මුලා කර ඒකාධිපති වහල් පාලනයක් බිහි කිරීම මිස රටට ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ලබා දීම නොවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ  සඳහන් කළේ, ජනාධිපතිවරණය හා රටේ අනාගත ගමන්මග සම්බන්ධයෙන් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ රැස්වීම් කිහිපයක දී අදහස් දක්වමිනි.

තම රජයේ බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ජයග්‍රහණය සහතික කර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු යටතේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම බව ද මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

පොදුජන පෙරමුණ වේදිකාවේ සිට පවුල්වාදයට ආවඩන සෑම දෙනාම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නියැලෙන එක්සත් ජාතික පාක්ෂිකයින්ට එරෙහිව ද්වේශයෙන් හා වෛරයෙන් ක්‍රියා කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාව යකඩ සපත්තුවෙන් පාගන හිට්ලර් යුගයේ පාලන ක්‍රමයක් බිහිකිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ  වී තිබෙන බවත් සඳහන් කළේය.

ඇතමුන් විසින් සිදුකරන විවිධ බාධා මැද වුවත් රට අද වනවිට විශාල සංවර්ධනයකට හිමිකම් කියන්නේ, දෙස් විදෙස් ණය ගෙවන අතර රාජ්‍ය සේවක වැටුප් 107% ක් වැඩිකරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස හා නාගරික සංවර්ධනය, මහා මාර්ග හා ප්‍රවාහන ආදී සෑම ක්ෂේත්‍රයකට ම අති විශාල මුදලක් වෙන් කරමින් සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව සිදුකරන ලද නිසා බව ද කීවේය.

“රාජ්‍ය සේවකයන්ට 2015 සිට ලබා දුන් සහන විමසා බලන්න.  අපේ ආණ්ඩුව තරම්  ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවල වැටුප් වැඩිකළ, රාජ්‍ය සේවා වැටුප් ඉහළ දැමූ ආණ්ඩුවක් තිබුණාද? මේ තරම් අධ්‍යාපනයට, සෞඛ්‍යයට වියදම් කළ තවත් ආණ්ඩුවක් තිබුණාද? පාසල් ළමයින් ලක්ෂ හතළිස් තුනකට සුරක්ෂා රක්ෂණය දුන්නා. පාසල් ගොඩනැගිලි පමණක් 1500 කට වඩා අලුතින් ඉදිකළා. පිරිවෙන් සඳහා මුල්වරට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කාර්යාල හා පිරිවෙන් පරිපාලන ගොඩනැගිලි තනා දුන්නා. සනීපාරක්ෂක පද්ධති ඉදිකර දුන්නා. ආදී වශයෙන් අප කළ සංවර්ධන වැඩ බොහෝයි.

මෙවර ජනාධිපතිවරණය අතිශයින් තීරණාත්මකයි. ශ්‍රී ලාංකික සංස්කෘතිය අගයන ජාති ආගම් කුල පක්ෂ පන්ති භේදවලින් තොරව ජනතාවට ආදරය කරන සජිත් ප්‍රේමදාස ජනාධිපති කරනවාද? නැත්නම්, ඇමරිකානු ජාතිකයකු ජනපති කරනවාද?  ශ්‍රී ලංකාවේ නිදහස් හා ස්වෛරීභාවය අධිරාජ්‍යවාදීන්ට පාවා දෙනවාද?  කියා හොඳින් හිතා මතා තීරණය ගත යුතුයි. ඒ නිසා වාද බේද නැතිව රට ගැන කල්පනා කර රටේ ස්වෛරීභාවය ගැන සිතා “හංසයා” ලකුණට ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඉල්ලනවා” යැයි ද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

Read more

Local News