තංගල්ල නගරසභාවේ හිටපු සභාපතිවරයකු රිමාන්ඩ් කෙරේ

Share

තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයට අයත් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමකින් යුතු භාණ්ඩ වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල නගරසභාවේ හිටපු සභාපතිවරයකු මෙම මස 30 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝග කර තිබේ.

තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණ ප්‍රධාන මහේස්ත්‍රාත් එල්.ටී. වරුසවිතාන මහතා ඊයේ(24) මෙම නියෝග දුන් බව අප වාර්තාකරු පවසයි.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත්වූයේ තංගල්ල නගරසභාවේ හිටපු සභාපතිවරයකු වන දැනට නගරසභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු වන අනිල් සෙල්ලාහැන්නදි මහතා බව පොලිසිය පවසයි.

සුනාමි ව්‍යවසයෙන් පසුව තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයට ජර්මනියෙන් ආධාර ලෙස හිමි වූ රුපියල් හය ලක්ෂ හැටනවදහසක වටිනාකමකින් යුතු ආයුධ කට්ටලයක් මෙලෙස හිටපු සභාපතිවරයකු විසින් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත්ව තිබිණි.

මෙම ආයුධ කට්ටලය අතුරුදන් වීම සම්බන්ධයෙන් තංගල්ල නගරසභාවේ හිටපු ලේකම්වරයා විසින් 2015 වර්ෂයේදී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි

එහි විමර්ශන කටයුතු සිදුකෙරෙමින් තිබියදී චෝදනාවට ලක්වූ හිටපු සභාපතිවරයා එම ආයුධ කට්ටලය ලබා දෙන බවට පොරොන්දු වී ආයුධ කට්ටලය දෙවාරයක් එවා තිබූ අතර  ඒවායේ ආයුධ අඩු වීම නිසා සහ නිසි බලධාරියකු නොමැතිව බාර දීම නිසා එය ප්‍රතික්ෂේප කර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සභාපතිවරයාට එරෙහිව අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවට ලිපියක් ලැබී ඇතැයිද එසේ තිබියදී ඔහු සභාහ වාරයට සහභාගී වූ බවද තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු වෙදආරච්චි මහතා පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැති සභාවාරයේදී පැවසීය.

හිටපු සභාපතිවරයා පෙරේදා නීතිඥයකුගේ මාර්ගයෙන් තංගල්ල මූලස්ථාන පොලීසියට බාර වී තිබූ අතර ඔහු එදිනම තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Read more

Local News