මඩු දේවස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරයි

Share

මන්නාරම දිස්ත්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් එම සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

මන්නාරම රදගුරු එමානුවෙල් ෆර්ඩිනෑන්ඩු පියතුමා වෙත ජනාධිපතිතුමා විසින් සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබිය.

කිතුනු බැතිමතුන්ගේ ගෞරවනීය පුදබිමක් වන මඩු දේවස්ථානය, බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගේ ද වන්දනාමානයට පාත්‍ර වන සුවිශේෂි ආගමික ස්ථානයකි. වාර්ෂික මඩු මංගල්‍යය අවස්ථාවේදී මෙන්ම වසර පුරාම වන්දනාකරුවෝ ද දෙස් විදෙස් සංචාරකයන් ද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මඩු දෙවස්ථානය වෙත පැමිණෙති. පසුගිය යුද සමයේ සිදු වූ දැඩි අලාභහානී හේතුවෙන් ද, දිගු කලක් තිස්සේ නඩත්තු හෝ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුනොවීම හේතුවෙන් ද මඩු දේවස්ථානය අවට ප්‍රදේශය අඩු පහසුකම් සහිත ප්‍රදේශයක් බවට පත්ව තිබිණි.

2018 වසරේ ජූලි මසදී එහි සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානයක් මේ කෙරෙහි යොමු වූ අතර ඓතිහාසික පූජා භූමියක් වන මඩු පූජා භූමිය ආරක්ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන්නා වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සලකා කටයුතු කිරීමට ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

Read more

Local News