කාන්තාවන් 90% ක් හිරිහැරවලට ලක්වෙනවා

Share

අද වන විට රටේ කාන්තාවන්ට ගැටළු රැසකට මුහුණ දිමට සිදුවි ඇතැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කාත්තන්කුඩිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තා හමුවක් කාත්තන්කුඩිය ප්‍රදේශයේ දි ඊයේ(29) පැවැත් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, අද වන විට විශ්වවිද්‍යාලවලින් සියයට 70ක් නියෝජනය කරනු ලබන්නේ කාන්තාවන් බවයි.

නමුත් රැකියාවල නිරත වී ඇත්තේ සියයට 31 ක් බවත් පැවසු ඒ මහතා, කාන්තාව විශාල ප්‍රශ්න ගණනාවකින් පෙළෙන බවත් කියා සිටියේය.

අපේ රටේ ගබ්සා කිරීම් 638 ක් සිදු වෙන බවද කියා සිටි අනුර කුමාර මහතා, කාන්තාවන්ට අනාරක්ෂිත ජීවිතයක් උරුම වී ඇතැයි ද පැවසීය.

ඔවුන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ලබා ගත යුතු භාණ්ඩ මිලදී ගත හැකි තත්ත්වයක් අද අපේ රටේ නොමැති බවත් පැවසු අනුර කුමාර මහතා, සමීක්ෂණ වාර්තාවකට අනුව පොදු ප්‍රවාහනය තුළ කාන්තාවන් සියයට 90 ක් හිරිහැරවලට ලක්වන බවත් කියා සිටියේය.

එයෙන් සියයට 70 ක් ලිංගික හිංසනයට භාජනය වී ඇතැයි පැවසු ඒ මහතා එය සාධාරණ දැයි ප්‍රශ්න කළේය.

කාන්තාවන්ට සමාජය තුළ විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවන බවත් කියා සිටි අනුර කුමාර මහතා, ඒ වෙනුවෙන් අලුත් දේශපාලනයක් අවශ්‍ය බවත් පැවසීය.

සියලු දෙනාට සමානාත්මතාවයෙන් හා නිදහසේ ජීවත් විය හැකි රටක් අපි නිර්මාණය කළ යුතු බවත් පැවසු අනුර කුමාර මහතා, නමුත් වසර 71 ගිහිනුත් පාලකයින් එවැනි රටක් සදා නොමැති බවත් කියා සිටියේය.

Read more

Local News