ශ්‍රි ලංකන් ගුවන් සමාගමට මිලියන 27ක පාඩුවක් සිදුවූයේ ඇයි ?

Share

ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයේ ද්‍රව්‍ය හා උපකරණ මිලදී ගැනීමේදී කල් ඉකුත්වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව, කෝප් කමිටුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම සංගමයේ නියෝජිතයෝ අදාළ පැමිණිල්ල පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදි කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා වෙත ලිඛීතව භාර දුන්හ.

ආයතනය දැවැන්ත පාඩුවකට මුහුණ පා සිටින අවධිය තුළදී ඉහළ කළමණාකාරිත්වය සදහා මෙතෙක්ආයතනය තුළ නොපැවති අලුත් තනතුරු නිර්මාණය කිරීමට පරිපාලනය කටයුතු කරමින් සිටින බවද, ඔවුහු සිය පැමිණීල්ලෙන් චෝදනා කර සිටිති.

මෙම පත්කිරීම් හේතුවෙන් සමාගමේ පාඩු ලැබීමේ තත්වය තවදුරටත් වර්ධනයවන බවද පැමිණිල්ල මගින් ඔවුහු පෙන්වා දෙති.

ආයතනයේ කළමණාකාරිත්වය ඇතැම් වෘත්තීය සමිති සම්බන්ධයෙන් පක්ෂග්‍රාහි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෘත්තීය සමිති ආඥා පනත ද උල්ලංගනය කරමින් සිටින බවද, අන්තර් සමාගම් සේවක සංගමයේ ශ්‍රි ලංකන් ගුවන් සමාගම් ශාඛාව කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන්වේ.

කළමනාකාරිත්වයේ අවිධිමත් තීන්දු තීරණ හමුවේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ කොළඹ පවතින කාර්යාල කටුනායකට රැගෙන ගිය බවත්,පසුව නැවත ඒවා කොළඹ ට රැගෙන ඒමට කටයුතු කළ බවත්, එම ක්‍රියාදාමය හේතුවෙන් දැවැන්ත මූල්‍ය පාඩුවක් එම සමාගමට සිදුවූ බවත් කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණීල්ලේ සදහන් වේ.

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන වල සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් කෝප් කමිටුවට පැමිණිලි මෙන්ම දුක් ගැනවිලි  ඉදිරිපත් කිරීමට දැන් අවස්ථාව පවති.

මීට පෙර සංචාරක කර්මාන්තයේ නියැලෙන නියෝජිතයෝ පිරිසක් කෝප් කමිටුවවෙත පැමිණ තමන් මුහුණ දි සිටින දුෂ්කරතා පිළීබදව ලිඛිතව කරුණු ඉදිරිපත් කළහ.

Read more

Local News