චන්ද්‍රිකා හා වෙල්ගම සහාය දෙන්නේ කාටද ?

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපසභාපතිවරයෙකු හා මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා තීරණය කර තිබේ.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ලබන 05 වැනිදා විශේෂ සමුළුවක් පවත්වා මෙම තීරණය රටට දැනුම් දීමට ඔවුන් කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් එදින සවස 2.00ට ආරම්භ කෙරෙන මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු,පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින්,මන්ත්‍රිවරුන් ඇතුලු පිරිසක් එක්වීමට නියමිතය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ(29)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂක සංගමයේ සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින්  මෙම සමුළුව පවත්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකයන් 81ක්, අපේක්‍ෂකයන් 3,000ක්, මන්ත්‍රීවරුන් 1,000ක් ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් 15,000ක් සහභාගි වීමට සූදානමින් සිටින බවද හෙතෙම පැවසීය.

පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් අපේක්‍ෂකයන් 9,000ක් තරග කළ බවත්, එම සියලු දෙනාට නොදන්වා පක්‍ෂ නායකත්වය විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණයක් ගෙන තිබෙන බවත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් සියලු දෙනා කල කිරීමට පත්ව සිටින බවත්, මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ශ්‍රීලනිප ඡන්ද ලක්‍ෂ 07ක් ලබාදීමට තම කණ්ඩායම කටයුතු කරගෙන යන බවත් හෙතෙම සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්නයෙන්ම දියවී යනු ඇති බවත්,මේ බව තේරුම් නොගත් ශ්‍රී.ල.නි.ප. සංවිධායකවරු 14 දෙනෙකු පමණක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිනවීමට ඉදිරිපත් වී සිටින බවත් ඔහු පැවසීය.

Read more

Local News