සෙලින්කෝ හී තැන්පත් කරුවන්ට ආපසු මුදල් ගෙවන්න යෝජනාවලියක්

Share

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් දේපළ හා එහි හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුලූ අධ්‍යක්ෂවරුන්ගේ පෞද්ගලික මුදල්වලින් ස්ථාපිත කරන අරමුදලක් මාර්ගයෙන් එම සමාගමේ තැන්පත් කර මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවීම සඳහා වු යෝජනාවලියක් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා කොළඹ මහාධිකරණයට දැනූම් දී ඇත.

ගෝල්ඩන් කී මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සෙලින්කෝ සමාගමේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා ඇතුළු එම සමාගමේ අධ්‍යක්ෂවරුන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කර තිබෙන නඩුව අද (30) කැඳවූ අවස්ථාවේදී එම දැනුම්දීම සිදු කෙරුණි.

එහිදී නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් සහ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩිලාන් රත්නායක යන මහත්වරු අධිකරණයට දන්වා සිටියේ එම යෝජනාවලිය අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙසයි.

ඒ අනුව නඩුව පෙබරවාරි මස 19 වනදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එදින මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස පාර්ශවයෙන් විත්තියේ නීතිඥවරුන්ට  සහ නීතිපතිවරයාට නියම කළේය.

1997 වසරේ මාර්තු මස 23 වන දා සිට 2007 වසරේ දෙසැම්බර් මස 27 දක්වා කාලසීමාව තුළ ගෝල්ඩන් කී සමාගමේ තැන්පත් කරුවන් විසින් තැන්පත් කළ රුපියල් ලක්ෂ 720 කට අධික ප්‍රමාණයක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම සමාගමේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ.

Read more

Local News