රූපවාහිනීය ආරක්ෂක අමාත්‍යාංශයට ගැනීමට එරෙහි පෙත්සම් ගැන තීරණය ලබන 4වැනිදා

Share

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරීමට අවසර දෙනවද? නැද්ද? යන තීරණය ලබන මස 04 වන දා ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

මෙම පෙත්සම් බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී.දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලුණු අතර එම සලකා බැලීම අවසන් වීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සිය තීරණය ප්‍රකාශ කිරීම ලබන මස 4 වන දා තෙක් කල් තැබුවේය.

පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ යන අය විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා , සහ නීතිපතිවරයා නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට දැරිය හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය සහ පරිසර හා මහවැලි අමාත්‍යාංශය පමණක් බවයි.

එසේ තිබියදී ශ්‍රි ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව පෙන්වා දෙන ඔවුන් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් සහතික කර තිබෙන ප්‍රතිපාදන උල්ලංඝනය වන බව ද පෙන්වා දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මිය සඳහන් කර තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි ආයතන පවරා ගැනීමක් සිදු කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පවතින බවයි.

එබැවින් ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාදාමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බවත් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සදහන් කර සිටියේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමන් යටතට පවරා ගනිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට්  නිවේදනය බල ශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

Read more

Local News