දෙයක් කිව්වොත් ඒ දේ කරන පක්ෂය මෙන්න

Share

එ.ජා.ප. ය කියන්නේ කිව්වොත් ඒ දේ කරන පක්ෂයක් බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ පැවති පක්ෂ කාර්යාලයක් විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ  බව සඳහන් කළේය,

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

” රාජපක්ෂ ආණ්ඩුව නැව් එන්නැති වරායවල් හැදුවා හම්බන්තොට. ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපළවල් හැදුවා මත්තල. ඒවා තුළින් තමයි රටේ ණය බර වැඩි වුණේ. 2015 අපට හැකිවුනා ආදායම වැඩි කරලා, වියදම අඩුකරලා, එක නගරයකට, එක දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය සමස්ත දිවයින පුරාම ව්‍යාප්ත කරන්නට. අද අධිවේගී මාර්ග රට හැමතැනම තිබෙනවා. ඒ වගේම ගෙවල් ලක්ෂ 03කට වඩා හදලා තිබෙනවා. තවත් ලක්ෂ 02ක් හදාගෙන යනවා. සමෘද්ධිය වැඩි කරලා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් විශාල වර්ධනයක් ඇති කළා. ඉතාමත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් ඇති කරලා තිබෙනවා. අපි කිව්වොත් ඒ දේ කරන පක්ෂයක්. ඒ නිසා  ගෙයින් ගෙට ගිහින් හදවතින් හදවතට කතා කරලා, පවුල්වාදය පසෙකට දාලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැපවෙමු.

ඒ සදහා මේ වනවිට රටේ සෑම පක්ෂයක්ම අපි සමග එකුතු වෙලා තිබෙනවා. පොදුජන පෙරමුණ විතරයි අද අපි සමග නැත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත්සභාවල සිටින මන්ත්‍රීවරු 2400 කින් 1200 කට වැඩි ප්‍රමාණයක්  මේ වෙද්දි එක්සත් ජාතික පක්ෂයට  එකතුවෙන්න කටයුතු කරලා අවසානයි

මේ රටේ ජනතාවගේ අනාතගතය සුරක්ෂිත කරන්න තීරණයක් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි නොවැම්බර් 16 දා ඇති වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද, පවුල්වාදය ආරක්ෂා කරනවාද කියලා ජනතාව තීරණ කල යුතුයි.  වසර 10ක් තිස්සේ රාජපක්ෂ සමය තුළ මොනවගේ පාලනයක්ද තිබුණේ කියලා අපි කවුරුත් දන්නවා. 2015 ජනවාරි 08 දා ජනතා වරමෙන් නැවත ප්‍රජාතන්ත්‍රවාදයේ පිබිදීමක් ඇති කරන්න අපට පුළුවන් වුණා. ඒ නිසා තමයි මේ නොවැම්බර් 16 දා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහිත අපේම ආණ්ඩුවක් බිහි කරන්න හදන්නේ. කරන්න බැරිවුණ සංවර්ධනය නැවතත් ඒ තුළින් ඉටු කරන්නයි අපට අවශ්‍ය වන්නේ.

සමහර පිරිස් අන්තවාදය වපුරලා මේ රටේ ලොකු ප්‍රශ්න ඇති කරලා තිබෙනවා. අපි මේ තත්ත්වය පිටුදැකලා, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතුයි. අපේ ප්‍රතිවාදීන් කියනවා එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් මේ රටේ ඒකීයභාවය නැතිවෙයි කියලා. කවුද මේ රටට ඒකීයභාවය හඳුන්වලා දුන්නේ. එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ජනා‍ධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි මේ රටට ඒකීයභාවය හඳුන්වලා දුන්නේ. වසර 05ක් අපි ආණ්ඩු බලය ගෙනගියා. මේ කාලසීමාව තුළ  රටේ ඒකීයභාවය නැති වුණාද. එක්සත් ජාතික පක්ෂය තුළින් හඳුන්වාදුන් මේ  ඒකීයභාවය, මෙතෙක් දුරට අපි රැකගෙන ආව ඒකීයභාවය, තවදුරටත් ආරක්ෂා කරන්න අපි කැපවෙලා ඉන්නවා.

මේ රට සිංහල බෞද්ධ රටක්. නමුත් අද සියලු  ජාතීන්ට, සියලු  ආගමිකයන්ට සහයෝගයෙන් ජීවත් වියහැකි තත්ත්වයක් ඇති කරලා තිබෙනවා. ත්‍රිවිධ හමුදාව සහ පොලීසියට අපට විශේෂ සහායක් ලබාදුන්නා  අන්තවාදය මැඩපවත්වන්න. එදා රාජපක්ෂ පාලන සමයේ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය කටයුතු කළේ රාජපක්ෂ ආණ්ඩුවේ අණ පරිදියි. නමුත් දැන් ඔවුන්, ඔවුන්ගේ සැබෑ නිල බලය පාවිච්චි කරලා කටයුතු කරනවා ආණ්ඩුවේ ඇගිලි ගැසීම් වලින් තොරව. ඒ වගේම රජයේ සේවයේ, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ වැටුප් වැඩිකළා අපි බලයට පත්වෙලා දින 35 ක් ඇතුළත. මේවා කියන්නේ පම්පෝරි ගහන්න නෙමෙයි. කයිවාරු ගහන අයට අපි කරපු දේවල් මතක් කරලා දෙන්නයි.

ඔවුන් මේ දිනවල මාධ්‍ය ඔස්සේ නොයෙක් ප්‍රචාර ගෙනයනවා. එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් ත්‍රස්තවාදය ඇති වෙනවා, ඒකීයභාවය නැතිවෙනවා කියලා, බෝම්බ පුපුරනවා කියලා. ඔවුන් තමයි තැන්තැන්වල පිපිරිම් ඇති කරන්නේ. ඒ කරලා කියනවා බෝම්බ පුපුරනවා කියලා. පාස්කු ඉරිදා ප්‍රහාරයක් ඇතිවුණා. නමුත් පැය 24 ක් ඇතුලත අපේ පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට හැකිවුණා, නම් කරලා තිබුණ ත්‍රස්තවාදීන් 78 කුගෙන් 65ක් අල්ලගන්න. ලෝකේ එකම රටක්වත් නැතිව ඇති මේ ආකාරයට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ක්‍රියාත්මක වුණ  අවස්ථාවක්. අපි කිසිම ආකාරයකට මේ රටේ සහජීවනය නැති වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකීයභාවය පළුදු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ රටේ ජාතික ආරක්ෂාව ආරක්ෂා කරන එක තමයි වැදගත්ම දේ. ඒ දේ කරන්න සුදුසුම පුද්ගලයා තමයි, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා. වසර 30 කට පස්සේ ත්‍රස්තවාදය නැති කරලා, රණවිරුවන්ට නායකත්වය දීලා ජයග්‍රහණය ලබාගන්න ක්‍රියා කළේ. ඒ දේ ගෝඨාභය මහතාත් පිළිගත්තා. ඒ දේ නිසා තමයි අපේ නව ආණ්ඩුවේ ආරක්ෂක  අමාත්‍ය ධුරය අප එතුමාට දෙන්න තීරණය කළේ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News