පූජිත්ගෙන් සහ හේමසිරිගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Share

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු විසින් අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කාර හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම් සිදුකළ බවට චෝදනා කරමින් තමන්ව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

එහෙත් තමන්ට එරෙහිව මිනීමැරීමේ චෝදනා පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව ඇප මත මුදා හළ බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඉන්පසුව නීතිපතිවරයා විසින් ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බව සඳහන් කළේය.

නීතිපතිවරයාගේ ප්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණය විසින් තම ඇප නියෝගය අවලංගු කරමින් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවත් එම නියෝගය දෝෂ සහිත බවයි පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කර සිටියි.

ඒ අනුව තමන්ව ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය අවලංගු කර කොළඹ මහාධිකරණය විසින් ප්‍රකාශිත නියෝගය නීති විරෝධී බවට තීන්දු කර එය බලරහිත කරන ලෙසත් ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News