දින 8කින් නික්ම යන බැවින් ජනපතිගෙන් යුද හමුදාවට ස්තූතිය

Share

පැලවත්ත, අකුරගොඩ ප්‍රදේශයේ ඉදිකළ නව යුද හමුදා මූලස්ථානය අද (08) පෙරවුරවේ විවෘත කෙරුණි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව යුධ, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක ස්ථානගත කිරීමේ අරමුණින් පැලවත්ත, අකුරේගොඩ අක්කර 77ක භූමි භාගයක ඉදිකෙරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථානය සඳහා මුල්ගල් තැබුණේ 2011 මාර්තු මස 11 වන දිනයි.

මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වු විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක වෙයි.

එහි පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය අද මෙලෙස විවෘත කෙරුණි.

මෙහිදී ජනාධිපතිවරයා අතින් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීස් නිලධාරීන්ට සේවාභිමානි සහ සේවා පදක්කම් පිරිනැමීම සිදුවිය.

එහිදී අදහස් දැක්වු යුද හමුදාපති ලුතිනන් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ, ආරක්ෂක හමුදාවන්ට අණ දීම හා හමුදා මෙහෙයවීම, ආරක්ෂක විද්‍යා සිද්ධාන්ත අනුව එක් ස්ථානයක සිට ඒකාබද්ධව සිදු කිරීම මඟින් හමුදාවන් අතර, අනෝන්‍ය සම්බන්ධතාවය ගොඩනැඟෙන බවයි.

මීට අමතරව එමඟින් කාර්යක්ෂම හා වඩාත් ඵලදායි ආරක්ෂක සේවාවක් සැපයිය හැකි බැවින් මෙම අවස්ථාව සැබවින්ම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා ඉතිහාසයේ නව පරිච්ජේදයක ආරම්භයක් බවත් යුද හමුදාපතිවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ත්‍රිවිධ හමුදා මුලස්ථානය එකම ගොඩනැඟිල්ලක එක්වන සැලසුම වරින් වර ප්‍රමාදයන්ට මුහුණ දුන්නේ මුල්‍ය ගැටළු නිසා බවයි.

භාණ්ඩාගාරය විසින් නිකුත් කරනු ලබන මුදල් ප්‍රමාණය හැටියට ඉදිකිරීම් සිදු කළ බවත් පැවසු ජනපතිවරයා, අද තිබෙන නවීන උපකරණ සමඟ මෙන්ම පරිපාලනයේ දී භාවිතා වන නව උපකරණ සමඟ පරිපාලනය සිදු කිරීමට අවශ්‍ය වු බවද පැවසීය.

එනිසා මෙවැනි අංග සම්පූර්ණ ස්ථානයක් කලක් ගත වුවත් නිර්මාණය කළ බව පැවසු ජනපතිවරයා, ඉදිරි වසර 2 ඇතුළත නාවික හා ගුවන් හමුදා ගොඩනැඟිලි ද විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද කියා සිටියේය.

රුපියල් කෝටි 6000 ක වියදමින් ලංකාවේ කිසිදු දිස්ත්‍රික්කයක නොමැති මහ සංවර්ධන පෙරළියක් කෙටි කාලයකින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ සිදු කරනු ලැබුවේ ද එහි වැඩ ත්‍රිවිධ හමුදාවට බාර දුන් නිසා බවද පැවසු ජනපතිවරයා, එම වැඩ පුද්ගලික අංශයට ලබා දුන්නේ නම් වැඩවල ප්‍රගතියක් කිසිසේත් දැකිය නොහැකි බවත් පැවසීය.

තමා තවත් දින 8කින් ජනාධිපතිධූරයෙන් නික්ම යන නිසා සියලු කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැක්වු සහයෝගයට තමා පෞද්ගලිකව කෘතවේදීත්වය දැක්වීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ජනපතිවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News