දිළිඳුකම පිටුදකිමින් ආර්ථික සමෘද්ධිය ඇතිකිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි – ජනපති

Share

බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානය හෙවත් බිම්ස්ටෙක් සමුළුවේ තෙවන සැසිවාරයේ අමාත්‍යවරුන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹදී ආරම්භ කෙරිණි.

සමුළුව ඇමතූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කලාපයේ දිළිඳුකම පිටුදකිමින් ආර්ථික සමෘද්ධිය ඇතිකිරීම සඳහා ශක්තිමත් සහයෝගීතා වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය බවයි.

කලාපයේ පමණක් නොව සමස්ත මානව සමාජයේ දිළිඳුබව පිටුදැකීම සඳහා සියලු දෙනාගේ කැපවීම මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා ලොව කිසිවෙකු කුසගින්නේ නොතැබීමට ලොව බලවතුන්ට ඇති වගකීම හා කැපවීම ද සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළ මෙම වසරේදී කි‍්‍රයාවට නැංවූ බවත් ඒ හා සමගාමීව 2018 වසර ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කර තිබෙන බව ද සඳහන් කළේය. එවන් අවස්ථාවක මෙවර සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකිවීම පිළිබඳව ද ජනාධිපතිතුමා සිය සතුට පළ කළේය.

බිම්ස්ටෙක් සංවිධානයේ අරමුණ ඉටුකර ගැනීම සඳහා කලාපයේ සියලු දෙනාගේ කැපවීම ද මෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කරන ලදී.

බංග්ලාදේශ මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍ය මොහොමඩ් අබ්දුල් මන්නන්, භූතාන මුදල් අමාත්‍ය නම්ගෙයි දෝර්ජි, මියන්මාර් කෘෂිකර්ම, පශූ සම්පත් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ලාචෝ, තායිලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නදාපිත් ස්නිඩිවොංස් යන මහත්වරුන් ඇතුළු නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී වී සිටින අතර, සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, අමාත්‍යාංශයේ ලේකම් ශ‍්‍රියාණි වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද ඊට එක් විය.

 

Read more

Local News