අලි රොෂාන්ගේ නඩුව දෙසැම්බර් මස කැඳවීමට නියෝග

Share

බලපත්‍ර නොමැතිව අලි ඇතුළු පස් දෙනෙකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකු සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව දෙසැම්බර් මස 2 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (14) නීතිපතිවරයාට නියම කළේය.

විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් ඔවුන්ගේ නීතිඥවරු විසින් මීට පෙර මූලික විරෝධතාවක් මතු කර තිබුණි.

ඒ පිළිබඳව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළි ගන්නා බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සංශෝධනය කර නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාට අවස්ථාවක් පවතින බව ද විනිසුරුවරුන් මෙහිදී නීතිපතිවරයාට පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ගය පිළිබඳව දෙසැම්බර් මස 02 වන දා අධිකරණය දැනුවත් කරන ලෙසද නීතිපතිවරයාට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවේය.

Read more

Local News