අකිලගෙන් නිවේදනයක්

Share

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව රජයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පල කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැදුරටත් සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා වෙත 41.99%ක ප්‍රතිශතයක් සහිතව ඡන්ද 5,564,239ක් ලබාදුන් ශ්‍රී ලාංකීය ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් සිය හෘදයාංගම ස්තුතිය පුද කරන බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.

“ශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව රජයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරමි.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ යටතේ හංසයා ලකුණෙන් ජනාධිපතිවරණයට එක් වූ සජිත් ප්‍රේමදාස මැතිතුමා වෙත 41.99%ක ප්‍රතිශතයක් සහිත ව ඡන්ද 5,564,239ක් ලබාදුන් ශ්‍රී ලාංකීය ජනතාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.

රට තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදයේ නිම්වළලු පුළුල් කොට, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් අප විසින් ඇතිකරන ලද නිදහස් හා සාමකාමී වාතාවරණය හේතුවෙන් මෙවර පූර්ව මැතිවරණ සමය තුළ, මින් පෙර අප අත්දුටු අමිහිරි අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදුනොවූ බව ද වෙසෙසින් සඳහන් කළ යුතුය.

එහෙත් මෙතෙක් අප විසින් රට තුළ උදා කර තිබූ නිදහස් හා සාමකාමී වාතාවරණය විනාශ කරන අන්දමේ  ඇතැම් අමිහිරි සිදුවීම් පිළිබඳ තොරතුරු ජනාධිපතිවරණය නිමාවූ සැණින් වාර්තා වෙමින් පවතින අතර, ඒ පිළිබඳ රටේ ජනතාව වෙනුවෙන් ඉතා කණගාටුවට පත්වෙමි.

ජනාධිපතිවරයා තෝරාපත්කරගැනීම වෙනුවෙන් ජනතාව ලබා දුන් තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන පක්ෂයක් වශයෙන් නිහතමානී ව පිළිගනිමු.

දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන් රටේ ජනතාවගේ ආගම හෝ ජාතිය දඩමීමා කරගැනීම අප පක්ෂයේ ප්‍රතිපත්තිය නොවේ. එහෙත් මෙවර මැතිවරණ ප්‍රතිඵලය මගින් පෙන්වා දෙන්නේ, ජනතාව තුළ ආගම සහ ජාතිය පිළිබඳ පටු දේශපාලන අදහස් කුළුගැන්වීමට කටයුතු කළ පක්ෂය ජයග්‍රහණය ලබා ඇති බවයි. ඒ සඳහා ජනමතය ගොඩනැගීමට දායක වන ඇතැම් පාර්ශව විසින් කටයුතු කළ ආකාරය ද නිවැරදි හෝ සාධාරණ නොවේ.

ජාතිවාදයෙන් තොර, ආගම් භේදයෙන් තොර ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් අප පක්ෂය සතු පැහැදිලි දේශපාලන දැක්ම හා වැඩපිළිවෙළ ජනතාවට අවබෝධ කරවීම දුෂ්කර වූයේ ද එම පාර්ශවකරුවන් විසින් ගෙන ගිය වංචනික ක්‍රියාකලාපය හේතුවෙනි. කෙසේවුව ද නොබෝදිනකින් ම ජනතාව මෙම ක්‍රියාදාමයන්හි සත්‍ය පසුබිම හඳුනාගනු ඇත.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ස්වකීය ඡන්දය ප්‍රකාශ කරමින්, ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ අප විසින් ක්‍රියාවට නංවන ලද  සංවර්ධන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම පිණිස පෙනී සිටි සියලු ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් වෙනුවෙන් තවදුරටත් අඛණ්ඩ ව පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් අප පක්ෂය දිවිහිමියෙන් පෙනී සිටින බවත් සිහිපත් කරමි.”

Read more

Local News