සුරක්ෂා රක්ෂණය රක්ෂිතයි

Share

මිලියන හතරකට අධික පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වූ සුරක්ෂා රක්ෂණය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව තීරණය කොට ඇතැයි අද (29) දින ඇතැම් ජනමාධ්‍යවල ද ඇතැම් සමාජ මාධ්‍ය ජාලා තුළ ද පල වී ඇති වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් හා වගකීමෙන් තොර බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ වැදගත් ව්‍යාපෘතියක් ලෙස සුරක්ෂා රක්ෂණය හැඳින්වීමට තමන් කිසිවිටෙක නොපැකිළෙන බවත් අමාත්‍යධුරයේ වගකීම් භාරගත් මොහොතේ ජනමාධ්‍ය හමුවේ ද තමන් එය අවධාරණය කළ බවත්ය.

මෙම රක්ෂණය සඵලදායී ව්‍යාපෘතියක් වුවද ක්‍රියාත්මක පාර්ශවයේ දී සිදු වූ සියලු දුර්වලකම් සහ අනීතික ක්‍රියාකාරකම් දුරු කොට ජාතියේ දරුවනට උපරිම ප්‍රතිලාභ හිමිවන සේ  ක්‍රියාත්මක කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමාගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණය කරනු ලැබු බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව, ජාතික වගකීමක් ලෙස කිසිදු අක්‍රමිකතාවකට ඉඩ නොතබමින් මෙම සිසු රක්ෂණය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාරගනු ලබන්නේ ගෞරවයෙන් හා මහත් වූ විශ්වාසයෙන් බවත් ඩලස් අලහප්පෙරුම මහතා අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

Read more

Local News