LNG ගනුදෙනුව සම්බන්ධයෙන් වාර්තාවක් මහින්ද ඉල්ලයි

Share

රුපියල් බිලියන 90කට අධික මුදලක් රජයට අහිමි කර ඇතැයි පැවසෙන එල්.එන්.ජී. ගණුදෙනුව සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පසුගිය රජය යටතේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) ව්‍යාපෘතිය පිළිබදව සාකච්ඡාවක් අද (02) පෙරවරුවේ ඛනිජතෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී හෙළිදරව් වූ කරුණු අනුව 63% රජයේ අයිතිය සහිත සමාගමකට එම කොන්ත්‍රාත්තුව බාර නොදී, චීන සමාගමකට අදාළ කොන්ත්‍රාත්තුව ලබාදීම මගින් ශ්‍රී ලංකා රජයට මේ වනවිට  රුපියල් බිලියන 90 කට අධික මුදලක් අහිමිවී ඇතැයි අනාවරණය විය.

මෙම එල්.එන්.ජී. ටෙන්ඩරය සඳහා දේශීය සමාගමක් විසින් වැඩිම පිරිවිතරයන් ඉදිරිපත් කර තිබියදීත්, විදුලිබල අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ වුවමානවට එම ටෙන්ඩරය අඩු මුදලක් සහිත පිරිවිතරයන් ඉදිරිපත් කර තිබූ චීන සමාගමකට ලබාදීමට අනුමැතිය ලබාදී තිබේ.

අද දින පැවති සාකච්ඡාවට අදාළ දේශීය සමාගමේ නියෝජිතයන් මෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ද සහභාගී වී සිටියහ.

එහිදී මෙම ගනුදෙනුව සම්බන්ධව තමන්ට සවිස්තර වාර්තාවක් වහාම ලබාදෙන ලෙසත්, මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කිරීමට මෙම මස 05 වන බ්‍රහස්පතින්දා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අද දින පැවති මෙම සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වි සිටියහ.

Read more

Local News