අලි රොෂාන්ට එරෙහි නඩුව විභාගයට දින ‌දෙයි

Share

බලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගෙන ජාවාරම් කළ බවට චෝදනා එල්ල වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කළේය.

ඒ අනුව අදාළ නඩුව දෙසැම්බර් මස 12 වන දා විභාගයට ගැනීමට විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබුවේය.

මෙම නඩුව අද (02) කැඳවු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් ගොනුකළ සංශෝධිත චෝදනා පත්‍ර විත්තිකරුවන්ට භාරදීමෙන් පසුව ඒවා විවෘත අධිකරණය හමුවේ කියවා දෙනු ලැබුවේය.

නඩු විභාගය අතරතුර විනිසුරු විකුම් කළුආරච්චි මහතා සඳහන් කළේ මෙම නඩු විභාගය කඩිනමින් අවසන් කිරීම වැදගත් වන බවයි.

වෙනත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීම සඳහා අගවිනිසුරුවරයා මෙම නඩුවේ විභාගය අවසන් වන තුරු බලා සිටින බව සඳහන් කළ විනිසුරු විකුම් කලුආරච්චි මහතා ඒ අනුව නඩු විභාගය කඩිනමින් අවසන් කිරීමට පැමිණිල්ලේ සහ විත්ති පාර්ශ්වය අධිකරණයට සහාය විය යුතු බවද කියා සිටියේය.

ඒ අනුව නඩු විභාගය ලබන 12 වනදා ආරම්භ කිරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුවට අදාළ පිලිගැනීම් සටහන් කර ගැනීම සඳහා එය ලබන 09 වනදා කැඳවීමට ද නියම කළේය.

Read more

Local News