ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියට විදේශ ගතවීම තහනම්

Share

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනිය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන තුරු දෙසැම්බර් මස 09 වනදා තෙක් ඇයට අධිකරණයේ අවසරයෙන් තොරව විදේශගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

 

 

රහස් පොලිසිය විසින් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව අදාළ නිලධාරිනියට දෙසැම්බර් මස නව වනදාට පෙර රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා විසින් තවත් නියෝගයක් කළේය.

රහස් පොලිසිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා ඉකුත් 25 වනදා ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික වීසා නිලධාරිනියක කිසියම් කණ්ඩායමක් විසින් සුදු කාර් රථයකින් පැහැරගෙන ගොස් දැනට විදේශගතව සිටින රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට වීසා ලබාදීම සම්බන්ධයෙන් සම්බන්ධයෙන් තර්ජනාත්මකව කරුණු විමසා ලිංගික අඩන්තේට්ටම් කළ බවට එම තානාපති කාර්යාලයේ තානාපතිවරයා විසින් විදේශ අමාත්‍යාංශය හරහා පොලිස්පතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බව සඳහන් කළේය.

මේ පිළිබඳව රහස් පොලිස් නිලධාරීන් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයට ගොස් අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සහ කළ ද එම නිලධාරිනිය පිළිබඳව තොරතුරු හෙළි කිරීම අදාල තානාපති කාර්යාලයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බව රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේය.

ඉන් පසුව ඇයගේ නිවසට ගොස් පරික්ෂා කිරීමේදී නිවෙසේ ද කිසිවෙකු නොමැති බවට කරුණු අනාවරණය වූ බවත් ඇයගේ සැමියා බැංකු නිලධාරියකු වන අතර ඔහු රැකියාව කළ බැංකුවට ගොස් පරික්ෂා කිරීමේ දී ඔහු සේවයට වාර්තා කර නොමැති බවට කරුණු අනාවරණය වූ බව ද රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසා ඇත.

තානාපති කාර්යාලයේ නිලධාරියකු පැහැරගෙන යාම බරපතළ සිද්ධියක් බව පෙන්වා දුන් රජයේ නීතිඥවරයා එහි සත්‍ය අසත්‍යතාවය අනාවරණය කර ගැනීම සඳහා පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බව සඳහන් කළේය.

යම් හෙයකින් ඇය විදේශ ගත වුවහොත් සත්‍ය අනාවරණය කර ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වන බවත්  එසේ වුවත් රටට විශාල කැළලක් සිදු වන බවත් පෙන්වා දුන් රජයේ නීතිඥවරයා මෙය පුද්ගල බද්ධ කරුණක් නොව සමස්ත රටටම බලපාන ප්‍රධාන කරුණකැයි ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

එබැවින් අදාල තැනැත්තියට විදේශ ගතවීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම විමර්ශනයට අදාළව සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා පැහැරගැනීමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශකර සිටියේය.

ඒ අනුව ඇයගේ ප්‍රකාශය සටහන් කර ගන්නා තුරු එනම් දෙසැම්බර් මස 09 දා තෙක් අදාළ තැනැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරන බව මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේය.

මෙය පූර්ණ විදේශ ගමන් තහනමක් නොවන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

එම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කර ලෙසද රහස් පොලිසියට නියෝග කර ඇත.

එමෙන්ම අදාළ කාන්තාවට දෙසැම්බර් මස නව වනදාට පෙර රහස් පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නිකුත් කර තිබෙන අධිකරණ නියෝගය පිළිබඳව ඇයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් රහස් පොලිසියට නියෝග කර තිබේ.

අනතුරුව පැමිණිල්ල ලබන 09  වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.

Read more

Local News