ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ගේ වෙනසක් ?

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් කිහිපදෙනෙකු අලුතින් පත් කළ යුතුව තිබෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු නම් කළ යුතු වෙයි.

‍ජනාධිපතිවරණයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රිවරයෙකු නම් කළ යුතු බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයාද වෙනස් වී ඇති බැවින් ඔවුන්ගේ නාම යෝජනා මත පුද්ගලයන් 05 දෙනෙකු ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු වෙයි.

ඔවුන්ගේ දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙයි.

අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා අයත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් නොවන පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ මහ ස්වාධීන කණ්ඩායම්වල මන්ත්‍රිවරුන්ගේ බහුතර එකඟතාව මත තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කළ යුතු වෙයි.

අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිළ බලයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් වන අතර එහි සභාපතීත්වය දරන්නේ කථානායකවරයායි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන බ්‍රහස්පතින්දා පෙරවරු 11.00ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.

ඊට පෙර අදාළ නම් කිරීම් සිදුකරනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News