ආනයනික කැළි කසළ බහලුම් පරික්ෂා කිරීම ගැන නියෝගය ලබන 18 වැනිදාට

Share

මෑතකදී විදේශවල සිට ආනයනය කර මෙරට කොළඹ වරාය සහ කටුනායක නිදහස් වෙළඳ කලාප අංගනයේ රඳවා තිබෙන බහාලුම්වල අඩංගු කැළි කසළ පරීක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් වාර්තා කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නියෝගය ලබන 18 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (12) නියම කළේය.

 

විදේශවලින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබුවේය.

අදාළ බහලුම් තුළ අඩංගු බව කියන කැළි කසළ පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් මීට පෙර රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

එහෙත් ඒවා පරික්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට රස පරීක්ෂකවරයා විසින් ඉකුත් නඩු දිනයේ අධිකරණයට වාර්තා කර තිබුණි.

ඒ අනුව අදාල කැළි කසළ පරික්ෂා කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නියෝගය ලබන 18 වනදා ප්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය අද නියම කළේ.

ඊට අමතරව අදාළ කැළි කසල අඩංගු බහලුම් රටේ අභ්‍යන්තර ප්‍රදේශවලට ප්‍රවාහණය කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් මීට පෙර තහනම් නියෝගයක් ද නිකුත් කරනු ලැබුවේය.

Read more

Local News