ජනපතිට ජපානයෙන් ආරාධනාවක්

Share

මෙරට නිල සංචාරයක නිරත වු ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු මහතා අද (14) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

 

දෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු 21 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිස පසුගිය 12 වනදා දිවයිනට පැමිණියේය.

මේ අතර ජපාන විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සුමහතා විසින් එරට සංචාරයක නිරත වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනයක් සිදුකර ඇත.

ජනාධිපතිවරයා සහ ජපාන විදේශ අමාත්‍යවරයා අතර ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී එම ආරාධනය සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

එහිදී ජපාන විදේශ අමාත්‍ය මොතේගි තොෂිමිත්සු මහතා විසින් ජනාධිපති ජයග්‍රහණය පිළිබඳව ජනාධිපතිවරයාට සිය සුභ පැතුම් පළ කර ඇත.

එම හමුවේදී ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන් වල ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුවු බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, නැගෙනහිර බහාලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගි මාර්ග, කෘෂිකර්මය, රූපවාහිනි සම්ප්‍රේෂණ ඩිජිටල්කරණය, ආපදා නිවාරණය සහ ආරක්ෂක සහයෝගිතාවය යන ක්ෂේත්‍රයන්ගේ කැපවීම පිළිබඳවද අවධානය යොමුව ඇත.

Read more

Local News