එජාප අගමැති අපේක්ෂකත්වය සජිත්ට

Share

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට විපක්‍ෂනායක ධුරයට අමතරව අගමැති අපේක්‍ෂක ධුරය ලබාදී තිබෙන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ඊයේ (15) පැවසීය.

 

සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට පැමිණ මහ මැතිවරණය මෙහෙයවමින් වැඩ කළහොත් පක්‍ෂයේ ගැටලු රාශියක් විසඳාගත හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්‍ෂයේ නායක ධුරය ඉදිරි මහ මැතිවරණය ජයගැනීමට අවශ්‍ය කරුණක් නොවන බව ඒ මහතා පවසා සිටියේය.

පක්‍ෂයේ සියලු දෙනා එක මතයකට ගෙනවිත් පක්‍ෂ යාන්ත්‍රණය ශක්තිමත් කළහොත් ඇතැම් විට ලබන සතියේ වුවද රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.ප. නායකත්වයෙන් ඉවත්වීමට ඉඩ තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

එසේම තමන් සෑම විටම පක්‍ෂයේ නායකයා සමග සිටින බවට සජිත් ප්‍රේමදාස මහතාගේ මූණටම පැවසූ බවත්, පක්‍ෂයකට විනය අවශ්‍ය බවත් පැවසූ මන්ත්‍රීවරයා, රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්වුවහොත් ඔහු ආරක්‍ෂා කරන බවද පැවසීය.

ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධව පක්‍ෂය තුළ සාකච්ඡා වෙමින් තිබෙන බවත්, ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ සාමාජිකයන් 06 දෙනාගේ කමිටුවෙන් කිහිප දෙනෙකු ඉවත්ව තිබීම ගැන කනගාටු වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රට වටා යමින් බලමණ්ඩල පිහිටුවා පක්‍ෂයේ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සිටින බවත්, රූපවාහිනී නාළිකාවලට පක්‍ෂය කඩාදැමීමට ඉඩ නොදෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ සාමාජිකයෙකු වන ආශු මාරසිංහ මහතා,

“අපි මේ වනවිට පාක්‍ෂිකයන්ට ස්තූති කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. පක්‍ෂය හැටියට අපි හැම මැතිවරණයක්ම අවසන් වුණාට පස්සේ බලමණ්ඩල රැස්කරලා, පාක්‍ෂිකයන්ට ස්තූති කිරීම සිදුකරන එක එක්සත් ජාතික පක්‍ෂයේ  ක්‍රමවේදයක්.

මෙම කටයුතු අපි මුලින්ම ගාල්ල ආසනයෙන් පටන් ගත්තා. ගාල්ල ආසනයේ පාක්‍ෂිකයන්ගේ උනන්දුව ගැන අපි ස්තූති වෙනවා. ඒක තමයි එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ජවය. එක්සත් ජාතික පක්‍ෂය කාටවත් නැති කරන්න බැරි පක්‍ෂයක්. වැටි වැටි නැගිටින පක්‍ෂයක්. පක්‍ෂයේ යාන්ත්‍රණය ඒ විදියට සකස් වී තිබෙන්නේ. ඒක අපි ගාල්ලෙදී දැක්කා.

එක්තරා නාළිකාවක් හරි උනන්දුවක් තියෙනවා මේ බලමණ්ඩලයට පැමිණි අය ගැන. මේ නාළිකාව කියනවා මේ බලමණ්ඩලයට එක්සත් ජාතික පක්‍ෂයේ අය නෙමේලු ආවේ. ඒ නාළිකාවට බෑ එක්සත් ජාතික පක්‍ෂය පාලනය කරන්න.

මාධ්‍ය ආයතනයක් විදියට හැසිරෙන ලෙස එම ආයතනයෙන් ඉල්ලනවා. ඒ නාළිකාවෙන් පඩිගන්න මන්ත්‍රීවරුත් අපේ පක්‍ෂයේ ඉන්නවා. ඒ අයට පඩි ගෙව්වට අපිව පාලනය කරන්න බෑ ඒ නාළිකාවට. දැන්වත් තේරුම් ගන්න ඕන ඒ නාළිකාව ඒ අයට මේ රටේ නායකයො හදන්න බෑ කියලා.

අපි මේ පක්‍ෂය කඩන්න දෙන්නේ නෑ. මේක අපි ආරක්‍ෂා කරනවා. අපි පක්‍ෂය වෙනුවෙන් පෙනීසිටිනවා. ඒ වෙනුවෙන් තමයි නායකයා විසින් සය දෙනෙකුගේ කමිටුවක් පත් කළේ. ඒ කමිටුව මගින් අපි උත්සාහ කළේ, පක්‍ෂය තුළ තිබෙන මතවාද ටික එක තැනකට ගෙනල්ලා ඊළඟ මහ මැතිවරණයට සියලු දෙනාම එකතු කරන් මුහුණ දෙන්න.

අපි අදටත් පෙනීසිටින්නේ ඒ වෙනුවෙන්. පක්‍ෂය එකතුවෙලා යන වැඩපිළිවෙළ අපි සකස් කරමින් සිටිනවා. ඒ ගැටලුව අපි විසඳ ගන්නම්. අපි මහ මැතිවරණයට මුහුණ දෙන්න අවශ්‍ය යාන්ත්‍රණය මේ වෙලාවේ සකස් කරමින් ඉන්නේ.

අපි රට වටා යනවා. අපි බලමණ්ඩල පිහිටුවනවා. පාක්‍ෂිකයන්ට ඉදිරියට යන්න ශක්තියක් වෙනවා. ඊළඟ මැතිවරණයට මුහුණ දෙන ආකාරය පිළිබඳ සාකච්ඡා සිදුවෙමින් පවතිනවා. සය දෙනාගේ කමිටුවේ සාමාජිකත්වයෙන් කිහිප දෙනෙකු ඉවත්වීම කනගාටුවට කරුණක්.

පක්‍ෂයේ නායකයා කවුද, ඒ නායකයා ආරක්‍ෂා කළ යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නේ. සජිත්  ප්‍රේමදාස මහතා වෙනුවෙන් ලිපියකට අත්සන් කරන්න කියද්දී මම සජිත් ප්‍රේමදාස මහතාගේ මූණටම කිව්වා මම පක්‍ෂයේ අකෘතඥ වෙන පුද්ගලයෙක් නෙමෙයි, මම හැම වෙලාවේම ඉන්නේ නායකයත් එක්ක.

මම පක්‍ෂයේ නායකත්වයට හා විනයට ගරු කරනවා. මම මේ මොහොතේ ඉන්නේ පක්‍ෂයේ නායකයත් එක්ක. වර්තමාන නායකයා ඉවත්වෙලා ඔබතුමා පත්වුණුදාට මේ විදියටම මම ඔබතුමා රකිනවා. මම එදාට ඔබතුමාට ගේම් ගහන්නේ නෑ කියලා පැවසුවා. ඒක තමයි අපි ඉගෙන ගත්ත දේශපාලනය. ඒ මතයේ මම ඉන්නේ. අපට ගේම් දේශපාලනයක් නැහැ. කාගෙන්වත් පඩිගන්න දේශපාලනයක් නැහැ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ පක්‍ෂයක නායකයෙක් විදියට නෙමෙයි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති වෙනකොට පක්‍ෂයේ නායකයා නෙමෙයි. ලෝකයේ අනෙකුත් රටවලත් මෙවැනි ලක්‍ෂණ තිබෙනවා.

පක්‍ෂයේ නායකම ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය කාරණයක් නෙමෙයි. මැතිවරණ ජයග්‍රහණය කිරීමට පක්‍ෂ නායකත්වය ඉල්ලීම බොළඳ තර්කයක්. සජිත් ප්‍රේමදාස මහතාගෙන් අපි ඉල්ලා සිටින්නේ ඔහුට විපක්‍ෂනායකකම දීලා තිබෙනවා.

ඊළග අගමැති අපේක්‍ෂක ලෙස නම් කර තිබෙනවා. අපේ පක්‍ෂයේ නියෝජ්‍ය නායකයා. මේවා තියාගෙන ඊළඟ මැතිවරණය මෙහෙයවන්න කියලා ඉල්ලා සිටිනවා. ඔහු ඉදිරියට පැමිණ වැඩ කළොත් අපට තිබෙන ගැටලු ඔක්කොම විසඳගන්න පුළුවන්” යනුවෙන් පවසා සිටියේය.

Read more

Local News