ජේ.ශ‍්‍රි රංගාට ඇප

Share

වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේ‍ශයේදී රිය අනතුරක් සම්බන්ධ චෝදනා ලැබ සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රිරංගා මහතා සහ විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඇතුඵ පොලිස් නිලධාරීන් පස්දෙනා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු ආර්.කන්නන් මහතා අද (16) නියෝග කළේය.

 

වවුනියාව සෙට්ටිකුලම ප‍්‍රදේශයේදී 2011 මාර්තු 30 වැනිදා සිදු වූ රිය අනතුරකින් ප‍්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන්වරයකු මියයෑම සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා චෝදනා ලැබ  සිටින අතර, අදාළ සිද්ධියේ තොරතුරු වසන් කරමින් ඔහුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකර සැකකරුට පලායාමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනාද චෝදනා ලැබ සිටිති.

සැකකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත්කළ මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ගේ විදෙස්ගමන් බලපත‍්‍ර අධිකරණය භාරයේ තබන ලෙසටද නියම කළේය.

ඇපමත මුදා හැරුණේ නුවරඑළිය දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ.ශ‍්‍රිරංගා මහතා සහ එවක හිටපු වවුනියාව කොට්ඨාස භාර පොලිස් අධිකාරී අමරසිරි සේනාරත්න (විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති), වවුනියාව හිටපු  සහකාර පොලිස් අධිකාරී හරිස්චන්ද්‍ර බණ්ඩාර (විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී), එවක හිටපු සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුගත් රොෂාන් සංජීව, පොලිස් සැරයන් ප‍්‍රියදර්ශන හේරත් හා පොලිස් කොස්තාපල් ඩබ්ලිව්.ජි.පද්මපාල යන නිලධාරීන් වේ.

සැකකාර ජේ ශ‍්‍රීරංගා මහතා ඇතුළු සැකකරුවන් පිරිස වෙත අධිචෝදනා භාරදීම සිදුකළ අතර එහිදී ජේ.ශ‍්‍රීරංගා මහතා වෙත අධිචෝදනා හතරක් හා සැකකාර පොලිස් නිලධාරීන් වෙත අධිචෝදනා අටක් විවෘත අධිකරණයේදී කියවා භාරදෙනු ලැබීය.

අනතුරින් අලව්ව, නවතල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි තිදරු පියකුවූ සැරයන් (36759) ජි.උදය ජයමිණි පුෂ්පකුමාර නිලධාරියා මිය ගියේය.

අදාළ අනතුරු සිදුවන අවස්ථවේදී රිය පදවා ඇත්තේ මිය ගිය සැරයන්වරයා බවට එවකට සිටි පොලිස් නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තාකොට තිබූණි.

Read more

Local News