වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසුදු පාලනයක් – ජනපති

Share

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් නිදහසේ සම්මුතිය ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුවිය.

වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසුදු පාලනයක් සඳහා වන නිදහසේ සම්මුතිය, මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ජාතියේ අනාගතය වෙනුවෙන් පිරිසුදු සහ නිර්මල දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට යන ගමනේදී පක්ෂ, පාට, වර්ණ හෝ කිසිදු ඥාති සබඳතාවක් නොසළකන බවයි.

රටට, ජනතාවට ආදරය කරන දූෂණයට, වංචාවට හා නාස්තියට කිසිසේත් හිස නොනමන, අවංක, ඝෘජු දේශපාලන නවකයන් පිරිසක් බිහි කිරීම මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා අවංක, පිරිසුදු සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගනිමින් අනාගතයේ දී යහපත් ආණ්ඩුවක් ගොඩනැඟීම සඳහා වන ප්‍රවේශය මෙම මැතිවරණයෙන් සනිටුහන් කළයුතු බව කීය.

දේශපාලනය කරන කිසිදු පුද්ගලයකුට පුද්ගලික න්‍යාය පත්‍රයක් තිබිය නොහැකි අතර, ඒ සෑම කෙනෙකුටම තිබිය යුත්තේ රටේ, ජාතියේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් වූ පොදු න්‍යාය පත්‍රයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට හැකීවීම විශාල ජයග්‍රහණයක් බවත්, යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා ප්‍රවේශය එයින් සිදුවන බවත් සඳහන් කළ ජනාධිපතිතුමා, පසුගිය වසර දෙකේ ආණ්ඩුවේත්, විපක්ෂය තුළන් ඒ වෙනුවෙන් විශාල සටනක් කිරීමට සිදුවූ ආකාරය ද සිහිපත් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප්‍රකාශයට පත් කරන නිදහසේ සම්මුතිය රටේත්, ජාතියේත් මෙන්ම අද සිටින සහ හෙට උපදින දරු පරපුරේ අනාගතය වෙනුවෙන් වූ සම්මුතියක් බව සඳහන් කළ ජනාධිපතිතුමා එම සම්මුතිය තුළ යහපත් අනාගත දේශපාලන දැක්මත් සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිසක් රට තුළ ගොඩනැගෙනු ඇති බවද සඳහන් කළේය.

එමෙන්ම විනයෙන්, හික්මීමෙන් හා මැතිවරණ නීතිරිතීවලට අනුකූලව ප්‍රචණ්ඩත්වයෙන් තොර ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් සදහා සියලුදෙනාගේ කැපවීම ද මෙහිදී අවධාරණ කළ ජනාධිතිතුමා යහපත් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ජනතාවට ලබාදෙන පණිවිඩය එය බවද සඳහන් කළේය.

නිදහසේ සම්මුතිය පිළිබඳ ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිදුකළ අතර සියලුදෙනා එක්ව නිදහසේ සම්මුති ප්‍රතිඥාව සහ දිවුරුම්දීම සිදු කළහ.

Read more

Local News