කෘෂිකර්ම අමාත්‍යාංශය පැවති ගොඩනැඟිල්ලෙන් ඉවත් කිරීමේ යෝජනාව අද කැබිනට්ටුවට

Share

රුපියල් දෙකෝටියකට අධික මාසික කුලියක් ගෙවමින් රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

 

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව අද(18) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඉදිරිපත් කිරීමට නියමිත බව අප කළ විමසීමකදී කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විදෙස්ගතව සිටීම හේතුවෙන් ඒ මහතාගේ අත්සනින් යුතු කැබිනට් පත්‍රිකාව වැඩබලන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කරන මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව හෙට(19) දිනයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල, රජමල් මාවතේ පිහිටි ගොවිජන මන්දිරයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය 2016 වසරේ සිට රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරුණු අතර ඒ සදහා මාසිකව රුපියල් දෙකෝටි හතලිස් පන් ලක්ෂයක පමණ මුදලක් කුලිය ලෙස ගෙවා තිබුණි.

එවැනි විශාල මුදලක් ගෙවීම හේතුවෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබු අතර රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළේය.

Read more

Local News