ගල්ෆ් එයාර් හා ශ්‍රීලංකන් ගුවන් සේවය සංකේත හුවමාරු ගිවිසුමකට එ‍ළඹෙයි

Share

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය සහ බහරේන් රාජධානියේ ජාතික ගුවන් සේවය වන ගල්ෆ් එයාර්, 2019 ඔක්තෝබර් 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංකේත හුවමාරු හවුල්කාරිත්වයකට එළඹ ඇත. එමඟින් ගුවන් සේවා දෙකෙහිම වටිනා ගනුදෙනුකරුවන්ගේ ගුවන් ගමන් සඳහා පහසු විකල්පයන් ඉහළ නංවාලීමට අවස්ථාව සැලසේ.

 

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය ‘UL’ කේතය යටතේ බහරේනයේ සිට කොළඹටත්, ග්‍රීක අගනුවර ඇතන්ස්, සයිප්‍රසයේ ලර්නාකා වෙත ගල්ෆ් එයාර් ගුවන් ගමන් සඳහා යොමු කරනු ඇත. ඒ අනුව ගල්ෆ් එයාර් සිය ‘‘GF’ කේතය ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කොළඹ සිට බහරේන් දක්වා පියාසර කරනු ලබන ගුවන් ගමන්වලට අනුගත කරනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “ගල්ෆ් එයාර් සමඟ මෙම සංකේත හුවමාරු ගිවිසුමට එළඹීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. ගුණාත්මකභාවය, සේවාව සහ විශ්වසනීයත්වය අනුව ගෝලීය කීර්තියක් ඇති ගුවන් සමාගම් සමඟ හවුල්කාරිත්වයක් ඇති කිරීම සහ ශක්තිමත් කිරීම අපගේ උපාය මාර්ගික සැලසුමේ කොටසක්. ඒ වගේම අපගේ වටිනා මගීන් ගල්ෆ් එයාර් සමඟ ඔවුන්ගේ සංචාරය සතුටින් භුක්තිවිඳිනු ඇති බවට අපට කිසිදු සැකයක් නැහැ. ”

ගල්ෆ් එයාර් හි ප්‍රධාන විධායක නිලධාරි ක්‍රෙසිමීර් කුස්කෝ මහතා මෙසේ පැවසීය. “ශ්‍රීලංකන් ගුවන් සේවය සමඟ මෙම ගිවිසුම අත්සන් කිරීමට සහ බහරේන් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගණන වැඩි කිරීමට ලැබීම සතුටට කරුණක්. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය “ යුරෝපය සහ උතුරු අප්‍රිකාවේ අපගේ ශක්තිමත් ජාලය සමඟින්, අපගේ වේගවත් හා කාර්යක්ෂම කේන්ද්‍රස්ථානය වන බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඔවුන්ගේ මගීන්ට වැඩි ගමනාන්ත ලබා දිය හැකියි”.

ගුවන් සමාගම් දෙක අතර සංකේත හුවමාරු ගිවිසුමක් අත්සන් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සහ බහරේනය යන දෙරට අතර දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන ඇත.

ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය ලෙස සිය ස්ථාවරය තහවුරු කර ඇති අතර මාලදිවයිනේ ගමනාන්ත දෙකක් වෙත මෙහෙයුම් සිදුකරන එකම ගුවන් සේවය ලෙස ද ශ්‍රීලංකන් ගුවන් සේවය පත්ව සිටියි.

වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.

Read more

Local News