පාකිස්තාන රජයෙන් මෙට්‍රික් ටොන් 40000ක් පොහොර කඩිනමින්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ රට තුළ පවතින පොහොර හිඟයට පිළියමක් ලෙස පොහොර මෙට්‍රික් ටොන් 40000ක් කඩිනමින් ලබාදීමට පාකිස්තාන රජය එකඟතාව පළකර ඇති බවයි.

ජනාධිපතිවරයා ලෙස තමන් පාකිස්තාන අගමැතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් පොහොර මෙට්‍රික් ටොන් 40000ක් කඩිනමින් ලබාදීමට එරට අගමැතිවරයා ඊයේ (29) එකඟතාව පළ කරමින් තමන්ට දැනුම් දුන් බවත් ජනාධිපතිවරයා පැවැසීය. පොහොර හිඟය බරපතළ ගැටලුවක් වීමට ඉඩ නොදී මෙලෙස වළක්වා ගැනීමට හැකිවූයේ තම රජයේ විදෙස් ප්‍රතිපත්තිය නිසා බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ වත්මන් රජයේ විදෙස් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇතැමුන් විමසන බවයි. එහෙත් වත්මන් රජය විදෙස් සබඳතා නිවැරැදි ලෙස ගොඩනඟා ගනිමින් කටයුතු කරන බවත් රුසියාව මෙරටින් තේ මිලදී ගැනීම නතර කළ මොහොතේ එය යථා තත්ත්වයට පත්කර ගැනීමට හැකි වූයේ ජනාධිපතිවරයා ලෙස තමන් රුසියානු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පසුව බවත් ජනාධිපතිවරයා පැවැසීය. එමෙන්ම තමන් කටාර්හි සිදුකළ සංචාරය අවසන් කර මෙරටට පැමිණීමට පෙර කටාර් රජය මෙරට නගරයක් මුළුමනින්ම සංවර්ධනය කර භාරදීමට කැමැත්ත පළ කළ බවත් වත්මන් රජයේ විදෙස් සම්බන්ධතා ශක්තිමත් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read more

Local News