ජපාන් – ලංකා දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත්

Share

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියටත් ක්‍රියා කරන බව ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ මහතා පවසයි.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කලාපීය පුනරුදය පිළිබඳ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ  මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) පැවති හමුවේ දී මේ බව සඳහන් කෙරිණ.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු වී ඇති බවත් ආර්ථිකය  ගොඩනැගෙමින් පවතින බවත් ජපාන අමාත්‍යවරයා පැවැසීය. එවන් පසුබිමක ජපන් ව්‍යාපාරිකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා සුබදායී පරිසරයක් ගොඩනැගී ඇතැයිද යමමොතෝ මහතා සඳහන් කළේය.

ආරක්ෂාව, යටිතල පහසුකම්, කර්මාන්ත සහ වෙනත් බොහෝ ක්ෂේත්‍ර පිළිබඳව ජපානය ප්‍රවීණත්වයක් උසුළන බවත් එම අත්දැකීම් සමග ශ්‍රී ලංකාවේ ගමන් මගට අත්වැලක් සැපයීමට ජපානයට හැකි බවත් ජපාන රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

2015 ට පෙර මෙරට පැවති 7% ක ආර්ථික වර්ධන වේගය බිඳ වැටී ඇති ආකාරය ජනාධිපතිවරයා මෙහිදී යමමොතෝ මහතාට පැහැදිළි කර දුන්නේය. එය ගොඩනැගීම තමා ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක් බව ජනාධිපතිවරයා පැවසීය.

උසස් තාක්ෂණයෙන් යුත් එකලස් කිරීමේ කාර්මාන්තයන්හි ආයෝජන අවස්ථාවන් මෙරටට ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා ජපාන රජයෙන් ඉල්ලීමක් කළේය.

ජපාන ව්‍යාපාරික ප්‍රජාව අතර ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බව ජනාධිපතිතිවරයාගේ ඉල්ලීම පිළිගනිමින් කොසෝ යමමොතෝ මහතා කියා සිටියේය.

Read more

Local News