උතුරට සංවර්ධනය හා විරැකියාවට විසඳුම් ‌දෙන රජයක් ඇති වී තිබෙනවා – විමල්

Share

ඇතමුන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවහොත් පසුදාම හමුදා පාලනයක් ඇතිවන බවට උතුරේ ජනතාව බිය වැදුවත් අද එම ප්‍රකාශ අසත්‍ය වී උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට හා විරැකියාවට විසඳුම් දෙන රජයක් බිහි වී ඇතැයි කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

 

අද (17) ඔඩ්ඩුසුඩාන්හි පිහිටි ලංකා පිඟන් සංස්ථාවේ වසා දමා ඇති උළු හා ගඩොල් කර්මාන්ත ශාලා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වීරවංශ මහතා,

“1990 සිට වසා දමන ලද, ඔඩ්ඩුසුඩාන් ජනතාවට බොහෝ සේවා සැපයූ මෙම ආයතනය මාස දෙක තුනක් ඇතුළත යළි විවෘත කළ හැකි තත්ත්වයට පත් කිරීමට අපි කටයුතු කරනවා. එමගින් ප්‍රදේශයේ ජනතාවගේ දරුවන්ට රැකීරක්ෂා ලබාදීමටත් සෙසු ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

ඒ වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට අදාළ ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන නව සභාපතිවරයෙකු ද පත් කොට තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවට අපි කියනවා අපට උදව් කරන්න මේකෙන් ඔබලාගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. ඔබට අවශ්‍ය කරන ප්‍රගතිය මේ ප්‍රදේශයට ලබා දෙනවා කියා.

මෙම කර්මාන්ත ශාලාවට යල්පැනගිය යන්ත්‍ර වෙනුවට අලුත් යන්ත්‍රසූත්‍ර ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය කැපවී සිටින්නේ දේශීය කර්මාන්ත සහ ව්‍යවසායන් දියුණු කිරීමටත් එමගින් විශේෂයෙන් උතුරු නැගෙනහිර විරැකියාවට විසඳුම් ලබාදීමට අපට පුළුවන්.

අපි රජයක් ලෙස එය ඉටු කරනවා. ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවහොත් පසුවදාම හමුදා පාලනයක් ඇති කරාවි කියා උතුරු නැගෙනහිර ඔබලා බිය කළ බව අපි දන්නවා.

නමුත් ඒ කතා සියල්ල අසත්‍ය බව දැන් ඔබට තහවුරු වී තිබෙනවා. ඒ වෙනුවෙන් අද සිදුවන්නේ ඔබලාගේ ජීවන තත්ත්වය ඉහළ දමන විරැකියාවට විසඳුම් දෙන රජයක් බිහිවී තිබීමයි.

රජය සහ ඔබ අතර විරසකයක් හදන්න ඇතැමුන් උත්සාහ කරනවා ඊට රැවටෙන්න එපා.”

මීට තිස් වසරකට පෙර සිය රැකියා අහිමි වූ පිරිස් ද, ප්‍රදේශවාසීන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

ඔවුන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට ඇමතිවරයා එම අවස්ථාවේම පිළිතුරු දී ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමට ද එකඟ විය.

Read more

Local News