කබ්රාල් කල්ලිය අධිකරණය හමුවට ගෙන ආ යුතුයි

Share

අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය මෙන්ම කබ්රාල් කල්ලියත්, ඔවුන්ට උපදෙස් දුන්නු දේශපාලන නායකයනුත් අධිකරණය හමුවට ගෙන ආ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

 

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

“ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි වරින් වර ඉදිරිපත් කළ දේශපාලන හරය තමයි මෙම වෝහාරික විගණන වාර්තාව මඟින් නැවතත් තහවුරුකොට තිබෙන්නේ.

අපේ රටේ දූෂිත වළල්ලක් ඉන්න බව අපි මුලසිටම කිව්වා. මෙම දූෂිත වළල්ල දේශපාලන ක්ෂේත්‍රයේත්, මූල්‍ය ක්ෂේත්‍රය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල දකින්නට ලැබෙනවා.

ඒ දූෂිත වළල්ලට යූ.එන්.පී. ද ශ්‍රී ලංකාද කියලා බේදයක් නැහැ.  මේ දූෂිත වළල්ල මූල්‍ය වෙළෙඳ පොළේ ඉන්නේ එකට.

එක වෙලාවක යූ.එන්.පී. එකේ ඉන්නවා. තව වෙලාවක පොදුජන පෙරමුණේ ඉන්නවා. ඒ අයට විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා වෙනසක් නැහැ. මුදල් තියෙන තැනින් මංකොල්ලකන එක තමයි ඒ අයගේ වැඬේ. අපි හෙළිදරව් කරන්නේ මේ දූෂිත වළල්ලයි.

වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ කෝප් කමිටුවේ නිර්දේශ නිසයි. මෙම වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවට එවන්නේ ඒ නිසයි.

දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තු සභා වාරය අවසන් කිරීමත් සමග කෝප් කමිටුව අහෝසි වීම නිසා, මෙය කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න බැරිවුණා. එනිසා තමයි අපි දිගින් දිගටම මෙම විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා බලපෑම් කළේ. නමුත් මෙම වාර්තාව කීපදෙනෙක් විසින් හෑල්ලුවට ලක්කරන්න කටයුතු කළා. 2006 සිට 2015 දක්වා මහ බැංකු අධිපති වූ අජිත් නිවාඞ් කබ්රාල් මහතා වෝහාරික විගණන වාර්තාව ගැන ලිපි ලිව්වා.

හොරාට කලින් කෙහෙල් කැණ වැට පනින බව අපි කිව්වේ ඒ නිසයි. දැන් මේ විගණන වාර්තාවට අනුව පේනවා අජිත් කබ්රාල් කලබල වුණේ ඇයි කියලා. ලබැඳියාවන් අතර ගැටලුව තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන්ලා අතර විතරක් නොවෙයි. අජිත් කබ්රාල් කල්ලිය අතරත් ඒ ලබැඳියාවන් තිබුණු බව මේ වාර්තාවෙන් පේනවා.

මෙම වෝහාරික විගණන වාර්තාවේ පවුල් ගහ පිළිබඳව පැහැදිලි කිරීමක් තිබෙනවා. 2006 සිට 2015 දක්වා අජිත් නිවාඞ් කබ්රාල් පවුල් කණ්ඩායමේ සහ 2015 සිට 2016 දක්වා අර්ජුන මහේන්ද්‍රන්ගේ පවුල් බැඳීම් සම්බන්ධයෙන් හෙළිදරව් කොට තිබෙනවා. අපේ මැදිහත්වීම නිසා මේ පවුල් ගහ කැඩී ගියා.

එසේ නොවූවා නම් මේ පවුල් ගහ 2015 – 2020, 2020-2025 මේ ආකාරයට දිගටම යන්න ඉඩ තිබුණා. මෙම වෝහාරික විගණනය සිදුකිරීමටඅපිට තාක්ෂණික හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසයි කෝප් සභාපතිවරයා ලෙස මම මහ බැංකුවට නිර්දේශයක් ලබාදුන්නේ මෙම බැඳුම්කර සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් කරන්න කියලා.

ඒ මොහොතේ දී අජිත් නිවාඞ් කබ්රාල් පුවත්පත්වලට කිව්වා ඇයි මේ 2002 දක්වාම විගණනයක් කරන්නේ කියලා. නමුත් බැඳුම්කර සම්බන්ධයෙන් විගණනයක් කරනවා නම්, එය ආරම්භයේ සිටම පටන් ගන්න ඕනෑ. ඇයි ඒ විගණනයට විරුද්ධ වෙන්නේ. කබ්රාල් කලබල වුණේ ඇයි? මීට පෙර හිටපු අධිපතිවරු කලබල වෙලා නැහැ. වහන්න දෙයක් තිබෙන නිසයි කබ්රාල් කලබල වුණේ. ජනතාව ඒවා දැනගත යුතුයි.

අපි යෝජනා කරනවා, අපක්ෂපාතී විද්වත් මණ්ඩලයක් විසින් මෙම වෝහාරික විගණන වාර්තාව කියවන්න කියලා. එතකොට පැහැදිලි වෙයි අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකෑවේ කවුරුන්ද කියලා. අපේ රටේ කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් කොල්ලකෑවේ කොහොමද කියලා. ගමේ ගොවියන්ගේ, කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ පඩි සල්ලි තමයි මේ මූල්‍ය වංචාකරුවන් විසින් කොල්ල කන්නේ. කම්කරුවන් ඉතා දුක් මහන්සි වී හම්බකරන සල්ලි මේ සුදු කරපටි අපරාධකාරීන් විසින් රුපියලක් වත් හම්බනොකර මංකොල්ල කනවා.”

Read more

Local News