ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල කැපී පෙනෙන වර්ධනයක්

Share

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

මෑත කාලයේ රටේ මානව හිමිකම්වල විශාල ප්‍රගතියක් පෙන්නුම්කර තිබෙන අතර අදහස් ප්‍රකාශ කිරීම, භාෂණ, සංගම්, රැස්වීමේ නිදහස ආදිය මේ වනවිට උපරිමයෙන් තිබෙන බවද මෙලෙස පවතින තත්ත්වයන්ගෙන් අයුතු ලෙස ප්‍රයෝජන ගැනීම නොවිය යුතු බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනීය ප්‍රකාශ කරයි.

එක් ආයතනයකට හෝ දෙකකට රටේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව පෙන්වාදෙන ඒ මහත්මිය ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් ක්‍රියාත්මක වියයුතු බවද රටේ ජනතාව මේ පිළිබඳව දැනුවත් වීම අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් අදාළ පාර්ශ්ව වෙත වගකීමක් තිබෙන බවද කියා සිටී.

සභාපතිනිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (4) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය පෙන්වා දුන්නේ පසුගිය 2016 වසරේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි 9,000 ට අධික ප්‍රමාණයක් ලැබී තිබෙන නමුත් 2017 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව 5,614ක් වන බවත් එවැනි පැමිණිලි අතරින් මේ වනවිට 2,015ක පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන්කර තිබෙන බවත්ය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ හිරිහැරයන්ට ලක්වන පුද්ගලයන්ගෙන් පැමිණිලි ලැබී තිබෙන බවද ඊට අමතරව තර්ජන, රඳවා තබාගැනීම්, පරිපාලන ක්ෂේත්‍රයෙන් කිසිඳු පියවරක් නොගැනීම මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගෙන් ද පැමිණිලි ලැබී තිබෙන බවද ඇය පෙන්වා දුන්නාය.

කෙසේ වුවද තම කොමිෂන් සභාව වෙත ලැබී තිබෙන පැමිණිලි අතරින් පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පැමිණිලි පාර්ශ්වය නොපැමිණි පැමිණිලි 713ක් වාර්තා වන අතර පැමිණිලි 83ක් සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී තිබෙන බවද 247ක් සඳහා මේ වනවිට සහන ලබා දී තිබෙන බවද ආචාර්ය දීපිකා උඩගම මහත්මිය පෙන්වා දුන්නාය. ඊට අමතරව පැමිණිලි 195ක් සමතයකට පත්කර තිබෙන බවද තවත් පැමිණිලි 25ක් වෙනත් අදාළ ආයතන වෙත යොමුකර තිබෙන අතර තවත් පැමිණිලි 145ක් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බවද ඇය පැවසුවාය.

Read more

Local News