චීන ගුවන් මගීන් කටුනායකදී විශේෂ පරික්ෂාවකට

Share

විවිධ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේදී  පොදුවේ පරීක්ෂා කර බලන අතර, චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ පරීක්ෂාවකට ලක් වන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය.

 

චීනයේ බෙයිජිං, ග්වැන්ෂෝ, චෙංඩු සහ කැන්ටන් යන ගුවන් තොටුපළ වල සිට පැමිණෙන ගුවන් මගීන්, වෙනම ගුවන් මගී පර්යන්තයක් ඔස්සේ , ගුවන් තොටුපළ වෙත ඇතුළු කරගන්නා අතර, ඉන්පසුව එම ගුවන් මගීන් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ.

එහිදි  එම ගුවන් මගීන්ගේ සිරුරු වල උෂ්ණත්වය මෙන්ම අනෙකුත් කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ ද නිරීක්ෂණය කෙරේ.

එම පරීක්ෂා කිරීම් සදහා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ නිලධාරීන්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍යවරු ද සහභාගී වි සිටිති.

මෙම පරීක්ෂා කිරීම් වලදි, කොරෝනා වෛරස සහිත රෝග ලක්ෂණ ඇති  ගුවන් මගීන් අනාවරණය වුවහොත් ඔවුන් අංගොඩ උණ රෝහල වෙත කඩිනමින් යැවීමට ගිලන් රථ ද ගුවන් තොටුපළ පරිශ්‍රයේ සූදානමින් තබා තිබේ.

චීනය සහ ශ්‍රී ලංකාව අතර චීනයට අයත් ගුවන් සමාගම් ද, ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා ද මෙහෙයුම් කටයුතු සිදු කරති.

මෙම ගුවන් තොටුපළ වල සිට දිනපතා ගුවන් යානා හතරකින් , ගුවන් මගීන් දහසකට අධික පිරිසක් කටුනායක ගුවන් තොටුපළ  වෙත රැගෙන එනු ලබති.

Read more

Local News