චීනයේ සිටි සිසුන් 380ක් මෙරටට එයි

Share

චීනයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 380ක් මේ වනවිට ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි චීනයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති කේ.කේ.යෝගානන්ද මහතා පැවසීය.

 

මේ අතර චීනයේ සිට සිසුන් 173ක් රැගෙන ගුවන් යානයක් ඊයේ (28) රාත්‍රී හා අද (29) අලුයම පැමිණෙන බව ප්‍රකාශ කළ ද, එවැනි ගුවන් යානයක් කටුනායක හෝ මත්තල ගුවන් තොටුපළ වෙත මේ වනතුරු පැමිණ නොමැති බව සඳහන්.

එහෙත් ඊයේ රාත්‍රී 6.20ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි චයිනා සදර්න් ගුවන් සේවයේ සී.ඉසෙඩ්.- 3059 දරන ගුවන් යානයෙන් ද, එදිනම රාත්‍රී 9.059ට චෙංඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් සහ අද අලුයම 5.10 ට චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් ද චීනයේ ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 91 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

එම සිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළ ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පැවතීම නිසා, ඔවුන්ට තම නිවෙස් වෙත යෑමට කටයුතු සලස්වා තිබේ.

එහෙත් ඔවුන්ට මෙම කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ පහළ වුවහොත්, වහාම ඔවුන්ට ළගම ඇති රෝහල වෙත යන ලෙස එම වෛද්‍යවරුන් එම සිසුන්ට දන්වා තිබේ.

Read more

Local News