නාවික බුද්ධි අංශ සාමාජිකයන් 2ක් රිමාන්ඩ්

Share

නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ලබන 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද (29) නියෝග කළේය.

 

2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින්ට එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියමින් නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට අදාළව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අරුණ තුෂාර මෙන්ඩිස් සහ කස්තුරිගේ ගාමිණි යන නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි තුන්වන සැකකරු ලෙස නම් කර සිටින නීතිඥ අජිත් ප්‍රසන්න නමැත්තා මේ වන විට මහාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බව සඳහන් කළහ.

මෙහි හතර වන සැකකරු ලෙස නම් කර සිටින හිටපු කොටි සාමාජිකයකු වන ඩී.එම්. විජයකාන්තන් නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව ද රහස් පොලිසිය ප්‍රකාශ කර සිටියේය.

මෙහිදී අගතියට පත් වූවන් හා සාක්ෂි කරුවන් වෙනුවෙන් පෙනී සිටියි නීතීඥ අචලා සෙනෙවිරත්න මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් දෙසැම්බර් මස 6 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එම නඩුවේ වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදු කර ඇති බව සඳහන් කර සිටියාය. වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ පනත යටතේ මෙම සැකකරුවන් වරදක් සිදුකර ඇති බවද නීතිඥවරිය අධිකරණය හමුවේ පෙන්වා දුන්නාය.

මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව විමර්ශන සිදුකළ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ තවත් සාක්ෂිකරුවකු මේ වන විට රටින් පළා ගොස් සිටින බව සඳහන් කළේය. මෙම සැකකරුවන් දෙදෙනා  මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කළ බවට පොලීසිය විසින් ප්‍රකාශ කළත් එම මාධ්‍ය සාකච්ඡාවෙන් කුමන සාක්ෂිකරුට බලපෑම් සිදු වූයේ ද යන්න පිළිබඳව නිශ්චිතව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර නොමැති බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය. මේ හේතුවෙන් මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඔවුන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  මෙම සැකකරුවන් දෙදෙනා ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

ඊට අමතරව මෙම නඩුවට පාදක වී තිබෙන මාධ්‍ය සාකච්ඡාවට අදාළව මාධ්‍ය ආයතන වලින් ලබා ගන්නා ලද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන වල අන්තර්ගත කරුණු ලිඛිතව පිටපත් කර මීළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී රහස් පොලිසිය වෙත වැඩිදුරටත් නියෝග කරන ලදී.

Read more

Local News