කොළඹ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ශක්‍යතා අධ්‍යනය ලබන මස අවසන්

Share

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා පිටකොටුවේ ඉදිකිරීමට යෝජිත බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයේ ශක්‍යතා අධ්‍යයනය ලබන මාසයේ අවසන් කිරීමට නියමිය.

 

ප්‍රංශ රජයේ ප්‍රදානයක් මඟින් මෙම ව්‍යාපෘතිය ඉදිකිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් කොළඹ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමූ වූ අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබේ.

යෝජිත ප්‍රවාහන මධ්‍යස්ථානය යනු කොටුව-පිටකොටුව ප්‍රදේශය සඳහා ඒකාබද්ධ ප්‍රවාහන හා නාගරික සංවර්ධන ව්‍යාපෘතියකි. ආයෝජකයින් කෙරෙහි නගරයේ ආකර්ශනය වැඩි කිරීම සහ කොළඹ ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත් කර තරඟකාරී වෙළඳපොළක් ඇති කිරීම මෙහි අරමුණයි.

මෙම සාකච්ඡාවලදී අග්‍රාමාත්‍යවරයා අදාළ ව්‍යාපෘතියේ වැදගත්කම පහදා දුන් අතර මගීන්ගේ පහසුව සඳහා අවට අවකාශය උපරිම ලෙස භාවිත කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය.

ප්‍රංශ දූත පිරිස කියා සිටියේ ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට පූර්ණ විශ්වාසයක් ඇති බවයි.

Read more

Local News