තිලිණට එරෙහි තහනම් නියෝගය ලබන 5වැනිදා තෙක් දීගු කරයි

Share

බලපත්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගත් බවට චෝදනා එල්ල කරමින් හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් නිකුත් කර තිබෙන තහනම් නියෝගය ලබන 05 වනදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියම කර ඇත.

 

මහින්ද සමයවර්ධන සහ ‍ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

එමෙන්ම තමන්ට එරෙහිව ගොනුකර තිබෙන මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ගෙන් ඉවත් කර වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාග කිරීමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා තිළිණ ගමගේ හිටපු මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ද එදින ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුමඩුල්ල නියම කර ඇත්තේ.

මෙම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම ඉදිරිපත් කළ විත්තිකාර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාගයට ගන්නා බවත් එහිදී විනිසුරුවරයා නීතිය අභිබවා ගොස් අනවශ්‍ය මැදිහත්වීම් කිරීම නිසා තම සේවාදායකයාට සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි වී තිබෙන බවත් චෝදනා කර ඇත.

එබැවින් මෙම නඩුව ගිහාන් කුලතුංග විනිසුරුවරයා ගෙන් ඉවත් කර වෙන ඕනෑම විනිසුරුවරයකු ඉදිරියේ විභාග ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණයේ කරුණු දක්වමින් මහාධිකරණ විනිසුරුවරයෙකුට නඩු විභාගයක් සිදු කිරීමේ දී ක්‍රිකට් විනිසුරුවරයෙකුට මෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දී ඇත.

විනිසුරුවරයෙකුට තමන් ඉදිරියේ සාක්ෂි දෙන පුද්ගලයකුගේ විශ්වාසනීයත්වය පරික්ෂා කිරීම සඳහා විවිධ හරස් ප්‍රශ්න හා විමසීම් සිදු කිරීමට සිදුවන බව පෙන්වා දුන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා එවැනි උත්සාහයන් අනිසි මැදිහත්වීම් ලෙස අර්ථකථනය කළ නොහැකි බව පවසා ඇත.

ගිහාන් කුලතුංග විනිසුරුවරයා විසින් නඩු විභාගය පවත්වාගෙන යාමේදී අනුගමනය කරන ක්‍රියා පටිපාටියෙන්  විත්තියට අගතියක් සිදුවන බවට එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය පෙන්වා දී තිබේ.

දෙපාර්ශ්වය කරුණු සලකා බැලීමෙන් පසුව පෙත්සම විභාග වීම සඳහා නොතිසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 05 ප්‍රකාශයට පත්කරන බවත් එතෙක් දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය දීර්ඝ කරන බවත් විනිසුරුමඩුල්ල සඳහන් කර ඇත.

Read more

Local News