අයිපෑඩ් සහ මැක් පරිගණකවලට බලපෑම් – ඇපල් සමාගම

Share

පරිගණක චිප්වල (Chips) මතුව ඇති ප්‍රධාන දෝෂ දෙකක් අයි ෆෝන් (iPhones), අයි පෑඩ් (iPads) සහ මැක් (Mac) පරිගණක කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයි ඇපල් සමාගම පවසයි.

පරිගණක පද්ධති තුළට රහසින් ඇතුළු වී දත්ත සොරා ගැනීමට ඉඩ සැලසෙන ඉහත කී දෝෂවලට විසඳුම් සෙවීම සඳහා තාක්ෂණික සමාගම් කටයුතු කරමින් සිටින බව මේ සතියේ දී වාර්තා විය.

අදාළ දෝෂ සඳහා දැනටමත් තාවකාලික විසඳුම් කිහිපයක් නිකුත් කර ඇති බව ඇපල් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් පවතින අනතුරුදායක තත්ත්වය අයුතු ලෙස යොදා ගෙන ඇති බවට සාක්ෂි ලැබී නොමැති බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ අතර අදාළ දෝෂ හේතුවෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්ටෙල් ප්‍රොසෙසර හා සම්බන්ධ දෝෂයෙන් ඇපල් අත් ඔරලෝසුවලට බලපෑමක් එල්ල වී නොමැත්තේ ඒ තුළ එම ප්‍රොසෙසර අඩංගු කර නොමැති බැවිනි.

හානිකර ඇප් (App) මගින් ආරක්ෂා වී සිටීම සඳහා විශ්වසනීය මාර්ග ඔස්සේ පමණක් මෘදුකාංග බාගත කර ගන්නා මෙන් ඇපල් සමාගම නිර්දේශ කරයි.

Read more

Local News