චීනය කෝවිඩ් ආසාදිතයන් මරා දමන බවට පළවන වීඩියෝ අසත්‍යයි

Share

“චීනය කෝවිඩ් -19 ආසාදිතයන් මරා දමයි” යනුවෙන් ව්‍යාජ වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

මෙම වීඩියෝ පට සත්‍යයට සම්පූර්ණයෙන්ම පටහැනි, වෛරයෙන් පිරී ඇති, මිනිස් ස්වාභායට පටහැනි හා මානුෂ්‍යත්වයේ පහළම රේඛාවට අභියෝග කරන බවත් මේ ආකාරයට චීනයට ද්වේෂ සහගත ලෙස පහර දීම තරයේ හෙළා දකින බවත් තානාපති කාර්යාලය අද (13) නිකුත් කළ නිවේදනයෙ දැක්වෙයි.

වසංගතයට එරෙහිව සටන් කිරීමේදී චීන රජය වඩාත් පුළුල් හා දැඩි වැළැක්වීමේ පියවරයන් අනුගමනය කර ඇති බවත් ඒ සඳහා පළමු මට්ටමේ ප්‍රතිචාර දක්වා ඇති බවත් තානාපති කාර්යාලය පවසයි.

මෙම වෛරසයේ කේන්ද්‍රය වන හුබෙයි පළාතට උපකාර කිරීම සඳහා එම පළාතට වෛද්‍ය වෘත්තිකයන් 11,000 කට වැඩි පිරිසක් යොදවා ඇති බවද තානාපති කාර්යාලය පවසයි.

“හුඕෂෙන්ෂාන් සහ ලීෂෙන්ෂාන් ලෙස විශේෂ රෝහල් දෙකක් දින 10කින් ඉදිරිකර විවෘත කළා. හුබෙයි පළාතට සහාය වීම සඳහා අපි රට පුරා විවිධ ද්‍රව්‍ය එක්රැස් කර තිබෙනවා.  වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 10 ක මුදලක් රටේ සෑම මට්ටමකමට වෙන් කර තිබෙනවා.

බොහෝ ක්‍රියාමාර්ග අන්තර්ජාතික සෞඛ්‍ය රෙගුලාසි වල අදාළ අවශ්‍යතාවලින් ඔබ්බට ගොස් තිබෙනවා. එමගින්  ජනතාවගේ ජීවිත සහ සෞඛ්‍යය සම්බන්ධයෙන් මෙන්ම ගෝලීය මහජන සෞඛ්‍ය සුරක්‍ෂිතතාව පිළිබඳ චීන රජයේ ඉහළම වගකිවයුතු ආකල්පය මුළුමනින්ම පිළිබිඹු කරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ ප්‍රතිචාරය බෙහෙවින් අගය කරනවා. ව්‍යාජ තොරතුරු හා කටකතා වලට ඔවුන් නැවත නැවතත් විරුද්ධ වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෑම තරාතිරක්ම කටකතා පතුරුවා හරන්නේ නෑ, කටකතා හෝ භීතිකාවන් විශ්වාස කරන්නේ නෑ. ඒ වගේම මේ වසංගතයට එරෙහිව සටන් කිරීමට චීනයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට ශ්‍රී ලංකාව සහාය දක්වනු ඇතැයි අපේක්ෂා කරනවා” යැයි චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read more

Local News