අපිට කරගහන්න වෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ පව්

Share

කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පත්කර ජනතා ප්‍රශ්න විසඳීමට සුදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් සහිත වත්මන් ආණ්ඩුව වෙනුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමෙන් රට නැවත ගොඩ ගැනීමට හැකි වන බවයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කුවේට් ප්‍රධාන ශාඛාව විසින් කුවේට් සල්මියා අල් තජාන් උත්සව ශාලාවේ දී පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව පැවසීය.

මෙරට නිදහස් දිනය සැමරුම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

” අපි පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කරපුවාම මේ රටේ ජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා.

ඒ වෙනස අපි ටික ටික කරගෙන ගියත් ඒ වෙනස වේගවත් කිරීමට හැකියාවක් නැත්තේ අපි මේ ඇදගෙන යන්නේ 2015 පත් වූ පාර්ලිමේන්තුවම නිසයි.

මේ ආණ්ඩුව බහුතරය සහිත ආණ්ඩුවක් නෙමේ. සුළුතර ආණ්ඩුවක්. මේ සුළුතර ආණ්ඩුවට සිද්ධවෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ පව් වලට කරගහන්නයි.

පහුගිය දෙසතිය තුළ විතර කොලඹ උද්ඝෝෂණ 60 ක් තිබුණ කියලා පොලීසිය කියලා තිබුණා. මේ උද්ඝෝෂණකරුවන්ගේ උද්ඝෝෂණ වලට හේතුව පහුගිය යහපාලන ආණ්ඩුවේ අවිධිමත් ක්‍රියා කලාපයයි.

ඇතැම් අමාත්‍යාංශවල බදවා ගැනීමේ පටිපාටිය උල්ලංඝණය කරමින් රැකියා වලට බදවා ගෙන.

තවත් සමහර ඒවායේ වැටුප් විෂමතා. මේ අය දැන් ආණ්ඩුවෙන් සාධාරණය බලාපොරොත්තු වෙනවා.

ඒකයි මම කිව්වේ අපිට කර ගහන්න වෙලා තියෙන්නේ පහුගිය ආණ්ඩුවේ පව් වලට කියලා.

අපිට පුළුවන් විදිහට අපි මේ ජනතා ඉල්ලීම් ඉටු කරන්න කටයුතු කරගෙන යනවා.

ඒත් ඇතැම් අණ පණත් අපිට ඒකට බාධාවක්. ඒ බාධා ඉවත් කරගන්න අපිට පාර්ලිමේන්තුවේ බහුතර බලය නැහැ.

අපි මේ පාර්ලිමේන්තුව ඉක්මණින්ම විසුරුවා හැරලා පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවාගෙන මේ ජනතාප්‍රශ්න වලට ස්ථිර සාර විසදුම් ලබා දෙනවා.” යැයි වැඩිදුරටත් පැවසීය.

Read more

Local News