විජය කුමාරතුංග (1945 – 1988)

කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග. මොහු ශ්‍රී ලාංකීය සිනමාවෙහි ජනප්‍රියතම නළුවෙකුද, දේශපාලනඥයෙකුද වන අතර, ඔහුගේ බිරිඳ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියයි. සරසවිය පුවත්පතේ තිබූ දැන්වීමක් අනුව සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව මනමාලයෝ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට පෙනී සිටිමින් චිත්‍රපට රංගනයට අවතීර්ණවු විජය කුමාරතුංගයන් සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟමින් සිනමාවේ දුර ගමනකට අත්පොත් තැබුවා.

විජයගේ මුල් නාමය විජය කුමාරණතුංග වුවත් පසුකලෙක තම නාමය විජය කුමාරතුංග ලෙස වෙනස්කර ගත්තා. විජය කුමාරතුංග 1945 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වැනි දින රාගම මහ රෝහලදී උපත ලබා ඇත. පියා කෝවිලගේ බෙන්ජමින් කුමාරණතුංග ගම්මුලාදෑනි වූ අතර මව බියට්‍රිස් කුමාරණතුංග වූවාය. පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි සිඩ්නි කුමාරණතුංග, විවියන් කුමාරණතුංග, රූපා කුමාරණතුංග වන අතර සීදූව මහා විද්‍යාලය, කඳාන ද මැසනද් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයන් හිදී අධ්‍යාපනය හැදෑරීය. 1978 පෙබරවාරී 20 දින එකළ සිටි අගමැති වරයෙකු වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක(එස්.ඩ්බ්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහතාගේ හා ලෝකයේ ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ දියණියක් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකව විවාහ කරගන්නා ලදි. මෙම දෙපලට දුවෙකු (යශෝධරා කුමාරණතුංග) සහ එක් පුතෙකු(විමුක්ති කුමාරණතුංග) ද සිටී. පදිංචිව සිටියේ අංක 4/4,පොල්හේන්ගොඩ පාර,කොළඹ 05. දරණ නිවසෙහිය. සිනමාවට අවතීර්ණ වීමට පෙර ‘සිතිජය’ නම් ගීත නාට්‍යයක රඟපා ඇත

සිනමා දිවිය –

විජය කුමාරතුංගගේ ප්‍රථම චිත්‍රපටය හන්තානේ කතාව ඔහු එහි ප්‍රධාන චරිතය රඟනු ලැබූවා. ඉන් පෙර චිත්‍රපට දෙකක සහය චරිත රඟපා ඇත, ඔහු තම දිවි ඇතිතෙක් චිත්‍රපට 114ක ප්‍රධාන චරිතයට රඟපා ඇත. එයා දැන් ලොකු ළමයෙක් (1975), පොන්මනී (1977), බඹරු ඇවිත් (1977), ගඟ අද්දර (1980), බැද්දේගම (1980), පාර දිගේ (1980), මහ ගෙදර (1980), කැඩපතක ඡායා (1989) සහ ක්‍රිස්තු චරිතය (1990) ඒ අතර වේ. ඔහු විසින් දිනගන්නා ලද සම්මානද අතිමහත්ය. සරසවිය ජනප්‍රියතම නළුවා සම්මානය 1983 සිට 1988 තෙක් නොකඩවා දිනාගනු ලැබීය. එය සිනමාවේ වාර්ථාගත පිහිටුවීමකි. ඔහු මිය ගිය පසුද හොඳම නළුවා ලෙස කැඩපතක ඡායා හි ඔහුගේ රංගනයට සම්මාන ලැබූවා. මෙම චිත්‍රපටිය තිරගත වූයේ 1989දී එනම් ඔහු මියගොස් වසරකට පසුවයි. ඔහු සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය දෙවතාවක් දිනාගෙන ඇත ( “සහරාවේ සිහිනය”(1990) චිත්‍රපටයට – “වළාකුළක් ගෙන මුවා කරමු හිරු” & “දොළොස් මහේ පහන” චිතපටයට – “සාරා ගුවන විද නැගුන”). එසේම, ඔහු ගායනා කල ගීත සංඛ්‍යාව 100කටත් වැඩි සේම ඔහුගේ ගීත කැසට් 10ක්ද නිකුත් කෙරිණ.(ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා, විජය ගී, සීත රැයේදී, මංගල නැකත, සුදු දුව, රූස්ස ගහ ලඟ) මෙම ඔහුගේ කිසිදු ගීතයකින් හෝ කැසට් පටයකින් ඔහු කිසිම සත පහකවත් මුදලක් ගෙන නොමැත. ඔහු මෙම සිනමා දිවියේදී “ගොඩ් කින්ග්” නම් ඉංග්‍රීසි නැටහොත් බටහිර චිත්‍රපටියක රඟපා ඇත. එසේම “නැංගුරම්” නැමැති දමිල චිත්‍රපටියකද දස්කම් පා ඇත. ඔහු විසින් නිෂ්පාදනය කරණු ලැබූ ප්‍රථම චිත්‍රපටිය “වරදට දඬුවම්”(1989) තිරගත වූයේ ඔහුගේ මරණයෙන් පසුවය. අවසන් චිත්‍රපටිය “ඇය ඔබට බාරයි” එළිදැක්වූයේ 1997 වර්ෂයේදීයි.

දේශපාලන දිවිය –

විජය සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කරන ලදි. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී.ල.නි.ප. යෙන් තරඟ වැදී මනාප 19738ක් ලබා ගැනීය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදින. මැතිවරණයයෙන් පසුව ඔහුව නැක්සලයිට් චෝදනා මත 1982 නොවැම්බර් 19 දා හිර ගෙදරට නියම වූවා. 1983 ජනවාරි 18 දින ඔහුව නිදහස් කරන ලදි. ක්‍රියාකාරී දේශපාලනයට එක්වීම – 1977 ශ්‍රීලනිප ට එක්වීමෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම. 1983 අතුරු මැතිවරණය මහර ආසනයෙන් මනප 24899ක් ලබා ගැනීය. 1984 අතුරු මැතිවරණය මින්නේරිය ආසනයෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් තරඟ වැදී මනාප 10568 ක් ලබා ගැනීය.

1986දී යාපනයට යාම

1986දී විජය කුමාරණතුංග ‘එල්.ටී.ටී කඳවුරු ප්‍රදේශයට ගොස් නල්ලූර් මුරුගන් කෝවිල වැඳ, දමිල ජනයන් හමුවීමෙන් පසු එල්.ටී.ටීය තරුණ නායකයින් හමු විය. පසුව ඔවුන් විසින් ආපිට ශ්‍රී ලංකා හමුදා කඳවුරු වෙත එවන ලදි.

ඝාතනය –

විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 දින මධ්‍යහන 12.20ට පමණ, ඔහුගේ නිවස ඉදිරිපිට සිටියදී, යතුරුපැදියකින් පැමිණි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන ලද ඝාතකයන් දෙදෙනෙක් ටී 56 වර්ගයේ ප්‍රහාරක ගිනි අවියකින් වෙඩි තබා බරපතල තුවාල සිදුකොට පළා යන ලදී. රෝහල වෙත රැගෙන ගියද එහිදී ඒ වන විට, ඔහු මිය ගොස් ඇති බව හෙළි වූ අතර වෙඩි තැබූ අවස්ථාවේම ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව විශ්වාස කෙරේ. නඩු තීන්දුවේ දැක්වෙන පරිදි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය උපදෙස් දී තිබුණේ ජනතාවට මෘත ශරීයය හඳුනාගත නොහැකි වන පරිධි හිස විනාශ වන ලෙස වෙඩි තැබීමටයි. ඒ අනුව ඝාතකයා මුලින් පිටුපසින් වෙඩිතබා විජය බිම වැටුණු පසු ළඟට ගොස් හිස කුඩුවන ලෙස පතරොම් වැලක් නිමවන තෙක් වෙඩි තබා තිබිණි.

අවමංගල්‍ය උත්සවය හා පසුව

විජයගේ අවමංගල්‍යයෝත්සවය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවත්වුණි. හිසට එල්ල වූ වෙඩි පහර නිසා විරූපී තිබුණ මෘත දේහයේ හිස කොටස ආවරණය කොට තිබුණි. ඔහුගේ අවසන් කටයුතු 1988 පෙබරවාරි 21 දින කොළඹ නිදහස් චතුරස්‍රයේදී සිදු කරනු ලැබුණි. අවමංගල්‍යය කටයුතු එක්සත් ජාතික පක්ෂයේ සංවිධානයෙන් කරන ලදී. අවමංගල්‍ය උත්සවය සජිවීව රූපවාහිණිය ඔස්සේ විකාශනය කෙරුණු අතර ලංකාවේ අවමංගල්‍ය උත්සවයක් එසේ විකාශනය කළ පළමු අවස්ථාව එය විය. ඔහුගේ මරණයත් සමඟ පුද්ගලයෙක් ගිනි තබාගත් බව හා කිහිප දෙනෙකු දිවිනසා ගත් බවද වාර්තා වන අතර ඔහුට හිතවත්ව සිටි ඡායාරූප ශිල්පියෙක් ද ආහාර නොගෙන බීමතින් සිට පසුව මියගිය බව සඳහන් වේ. ඔහුගේ මරණය සිදුවූ අඟහරුවාදාව (1988 පෙබරවාරි 16), “භයානක අඟහරුවාදා” නැතහොත් “අඳුරු අඟහරුවාදා” යනුවෙන් හැඳින්වේ.

ඝාතනය පිළිබඳ පරීක්ෂණ

හොන්ඩා සීසී 200 වර්ගයේ, 90 ශ්‍රී 4320 යටතේ ලියාපදිංචිත ඝාතනය සඳහා යොදාගත් යතුරු පැදිය පසුව කළුබෝවිල රෝහල අසලින් සොයාගන්නා ලදී. යතුරු පැදියේ පසුපස පැමිණි, වෙනත් අනුවර්ත නාමයන්ගෙන් ද පෙනී සිටි ලයනල් රණසිංහ, වෙඩි තැබූ පුද්ගලයා බවටත් යතුරු පැදිය පැදවූයේ ටාසන් වීරසිංහ බවටත් පසුව හෙළි වූ අතර ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.එහි දී හෙළි වූ තොරතුරු අනුව ඔවුන් ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ දේශප්‍ර්මී ජනතා ව්‍යාපාරය සඳහා වැඩ කළ අතර විජය ඝාතනය කෙරුණේ එම සංවිධානයෙන් ලද නියෝගයක් මතයි. ඔහු ඉන්දු ලංකා ගිවිසුමට සහාය දැක්වීම, බලය විමධ්‍යගත කරන පළාත් සභා ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටීම, සහ ජවිපෙට විරුද්ධව දමිළ බෙදුම්වාදී PLOTE හා EPRLF සංවිධාන සමඟ එක්ව ඔහුගේ පක්ෂයේ පිරිසකට අවි පුහුණුව ලබා දිම ඊට හේතු ලෙස කියැවුණි. ඝාතකයේ සැලසුම්කරු ජයන්ත හෙවත් ලලිත් විජේරත්න බවත් ඊට තොරතුරු රැස් කරන ලද්දේ කොලොන්නාවේ පියසිරි බවත් ඒ සඳහා පිළියන්දල සෙන්ට් මිචෙල් හෝටලයේ සාකච්ඡා පැවැත්වූ බවත් ඔවුන් විජය කුමාරතුංගව ඝාතනය කිරීමට 1980 පමණ සිට වෑයම් කර ඇති බව ද ලයනල් හෙවත් ගාමිණී ලබා දුන් පිටු 141ක කට උත්තරයේ සඳහන් විය.

මින් පසුව ජනතා විමුක්ති පෙරමුණ “විජය යැව්වේ ඇයි?” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කොට ඔහුගේ ඝාතනයේ වගකීම බාරගත් බව ද කියැවේ.එමෙන්ම මඳ කලකට පසුව බොරැල්ල ඇක්විනාස් විද්‍යාලයේ වැසිකිළියක විජයගේ මරණය සාධාරණීකරණය කරමින් එම පක්ෂයේ අයෙක් පහත කවිය ලියා තිබුණු බව ද කියැවේ;

“ටයරය තුළ දැවෙන සොයරන්නේ නුඹට
නැත පාවඩ මළබෙරද දුකට
දේශය යකුට දී වැනසී ගිය යකුට
කුමට ද වැළපෙන්නේ නැතිව ද මොළකට්ට”

එලෙස විවිධ අන්දමින් එම ඝාතනය සම්බන්ධව උදම් ඇනීම එකල සිදු වුවද පසුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයකට එක්විය.

ඔවුන් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳව වර්ථමාන ජවිපේ සාමාජිකයන්ගේ සම්බන්ධතාවයක් නොමැති බව ප්‍රකාෂ කරන අතර ඒ සිදුවීම් අනුමත නොකරන බවද කියා සිටියි.

පසුව විජය කුමාරතුංග මහතාගේ බිරිඳ වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය 1994 ජනාධිපති ධූරයට පත් වූ අතර ඉන් පසුව තම සැමියාගේ මරණය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසන් සභාවක් 1995 පෙබරවාරි 16 වැනිදා පත් කළාය. කොමිසමේ සාක්ෂි විභාගය 1995 අප්‍රේල් 14 වැනිදා ආරම්භ කරන ලද අතර එය විසින් 1995 දෙසැම්බර් 15 වැනිදා දක්වා මාස 08ක් සාක්ෂි විභාග කරන ලදී. කොමිසම ඉදිරියේ පුද්ගලයින් 72ක් සාක්ෂි දුන් අතර එම සාක්ෂි පිටපත වෙළුම් 15කින් සහ පිටු 3,441කින් සමන්විත විය.

සම්මාන
විජය කුමාරතුංග සම්මාන හා නිර්දේශ

සම්මාන සහ නිර්දේශයන්
සම්මානය ලබා ගැනීම් නිර්දේශිත
සරසවිය
11 11
ස්වර්ණ සංඛ
1 1
ජනාධිපති සම්මාන
1 1
OCIC
1 0
විචාරක සම්මාන
0 1
එකතුව
ලබා ගැනීම්
15
නිර්දේයන්
15
සරසවිය සම්මාන සංස්කරණය
වසර සම්මානය චිත්‍රපටිය වෙනත්
1983 ජනප්‍රියතම නළුවා –
රංග කුසලතා මහ ගෙදර
1984 ජනප්‍රියතම නළුවා –
1985 ජනප්‍රියතම නළුවා –
1986 ජනප්‍රියතම නළුවා –
1987 ජනප්‍රියතම නළුවා –
1988 ජනප්‍රියතම නළුවා –
රණ තිසර සම්මානය –
1989 හොඳම නළුවා කැඩපතක චායා මෙම සම්මාන හිමි වූයේ ඔහුගේ වියෝවෙන් පසුවයි
1990 හොඳම පසුබිම් ගායකයා සහරාවේ සිහිනය
1992 හොඳම පසුබිම් ගායකයා දොළොස් මහේ පහන

වෙනත් සම්මාන

1975 හත්වැනි විචාරක සම්මාන උලෙළ කුසලතා සහතික (‘අහස් ගව්ව’)
‍හොඳම සහාය නළුවා 1987 – ජනාධිපති සම්මාන (‍’දෙව්දුව’)
නිර්මාණශීලී රංග කුසලතා 1990 (‘කැඩපතක ඡායා’) – OCIC සම්මාන
‍හොඳම නළුවා (‘කැඩපතක ඡායා’) ස්වර්ණ සංඛ සම්මාන -1990

වෙනත්
ගීත ගැයූ මුල්ම චිත්‍රපටය – ‘පාරදිගේ’ (‘පාවෙලා යන පාර වටේ’ ගීතය)
නිෂ්පාදනය කළ චිත්‍රපට – ‘වරදට දඬුවම’ සහ ‘සමාව’
අවසන් වරට රඟපෑ චිත්‍රපටය – ‘මිහිදුම් සිහින’ – අංක 2 මිය යාමට දින දෙකට කලින් මස්කෙළියේ මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් සඳහා සහභාගි විය
දැරූ නිලතල – ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක
පාවිච්චි කළ වාහනය – ඩබල් කැබ්
සංචාරය කළ රටවල් – එංගලන්තය, නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක්, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, සිංගප්පූරුව, රුසියාව, ස්විට්සර්ලන්තය, පකිස්ථානය, ඉතාලිය, ක්වේට්, ඕලන්දය, බෙල්ජියම.
විජයගේ අවසාන පුවත්පත් සාකච්ඡාව – ප්‍රේම් දිසානායක සංස්කරණය කළ ‘කලා’ 1988 (සුනිල් මිහිකුල සමඟ)
විජය පුවත්පතකට ලියූ අවසාන ලිපිය – 1988