උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

Share

ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ ආන්දෝලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාව යළිත් මෙම මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

 

ඔහුට අදාළ නීතී කෘත්‍ය අද (17) පස්වරු 2.30ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්තාවේදි කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.

ගුවන් හමුදාවට මිග් යානා මිලඳී ගැනීමේදී සිදුවූ ආන්දොලනාත්මක ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පසුගිය සිකුරාදා අලුයම කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උදයංග වීරතුංග මහතාගෙන් පැය 06කට අධික කාලයක් ප්‍රශ්න කළ අතර ඔහුව එදින පස්වරු 6.30ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ වසර 05ක් මුළුල්ලේ සිදුවූ විමර්ශනයකට අදාළව සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට දිනක කාලයක් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

එමෙන්ම සැකකරුට අදාළව නීතීමය පියවර ගත යුතු නෛතික වගන්ති සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ බැවින් සැකකරු සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එහිදී  සැකකාර උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ නීතීපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට කාලය අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය වන්නේ නම් තම සේවාදායකයා සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් තමා විරුද්ධව අදහස් දැක්වීමට බලාපොරොත්තු නොවන බවයි.

ඒසේවුවද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ද සඳුදා දිනයේදී අධිකරණයේ පෙනී සිට සැකකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගන්නා වගන්ති සම්බන්ධයෙන් කරුණු දැක්වීමෙන් පසු තමා සැකකරුට අදාළව ඇප අයැදුමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේය.

කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සැකකරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර උදයංග වීරතුංග මහතා රෝගී තත්වයක් හේතුවෙන් සෙනසුරාදා දිනයේදී බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබුණි.

Read more

Local News