කොවිඩ් නිසා සිදුවූ මරණ ගණන 2,345 දක්වා ඉහළට

Share

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනය තුළ පමණක් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 2,345 දක්වා ඉහළ ගොස් ඇත.

 

එමෙන්ම ලොව පුරා රටවල් රැසක මේ වන විටත් පැතිර ගොස් ඇති නව කොරෝනා වෛරසය පාලනය කිරීමේ හැකියාව පටුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසා ඇත.

වෛරසය හේතුවෙන් දැනටමත් ඉරානයෙන් මරණ 4ක් වාර්තා වී ඇති අතර උද්ගතව පවතින තත්ත්වය පිළිබඳව ලෝක  සංවිධානයේ ප්‍රධානී වෛද්‍යය ටෙඩ්‍රොස් අදනොම් ගෙබ්‍රෙයිසස් සිය කණස්සල්ල පළ කර තිබුණි.

වෛරසය පැතිර යාමට පවතින හැකියාව පාලනය කිරීමට පවතින අවස්ථාව පටු වී ඇති බවද ඔහු පවසයි.

ඉරාන සෞඛ්‍යය බලධාරීන් පවසන්නේ වෛරසය දැනටමත් “ඉරානයේ සියලුම නගරවල” තිබිය හැකි බවයි.

මේ අතර වෛසරය හේතුවෙන් චීනයේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 2,345 දක්වා ඉහළ ගොස් ඇත.

චීනයෙන් පිටත රටවල් 26කින් වෛරසය ආසාදිතයින් 1152 කු වාර්තා වී අතර මරණ 8ක් සිදුව තිබේ.

චීනය සහ ජපානයේ නිරෝධායනයට ලක්කළ කෘස් නෞකාවට හැරුණු විට මේ වනවිට වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ  දකුණු කොරියාවෙන්.

එරටින් පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති දැනට වාර්තා වන වෛරස ආසාදිතයින් ගණන 346ක්.

මෙය හදිසි අවස්ථාවක් ලෙස සළකා කටයුතු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර එරට දකුණුදිග ඩේගු නගරය ඇතුළුව තවත් නගරයක් විශේෂ කලාප ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මේ වනවිට ඩේගු නගරයේ වීථිවල පාලු ස්වභාවයක් දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර වෛරසය ආසාදිත 78 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු මියයාම ඉතාලියෙන් සිදු වූ පළමු මරණය ලෙස ඊයේ දිනයේදී වාර්තා වුණි.

අදාළ දිනයේම වෛරසය ආසාදිතයින් 16 කට වැඩි පිරිසක් එරටින් සොයාගෙන ඇති අතර එරට සෞඛ්‍යය අමාත්‍යංශය පවසන්නේ බලපෑමට ලක් වූ ප්‍රදේශවල පාසල් සහ කාර්යාල වසා දැමිය යුතු අතර ක්‍රීඩා ඉසව් සියල්ල අවලංගු කළ යුතු බවයි.

නව කොරෝනා වෛරසයේ තිඹිරිගෙය ලෙසින් සැලකෙන චීනයේ හුබෙයි පළාතෙන් ඊයේ දිනයේදී වාර්තා වූ මරණ ගණන 106ක්.

එම පළාතෙන් නව ආසාදිතයන් 366දෙනෙක් හමුවී තිබෙන්නේ ලොව පුරා සිටින කොරෝනා ආසාදිතයන් ගණන 76,600 ඉක්මවාලමින්.

කෙසේ නමුත් මේ වන විට ආසාදිතයන් 20,659  පිරිසක් ඉන් සුවය ලබා ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙයි.

Read more

Local News