වැල්ලවායේ අනතුරකින් අයෙක් මරුට – ගැබිනියක් ඇතුළු කාන්තාවන් තිදෙනකුට බරපතළ තුවාල

Share

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ජනපදය විසි අටේ හංදිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ගැබිනි කාන්තාවක් ඇතුළු කාන්තාවන් තිදෙනකු බරපතළ තුවාල ලබා තිබේ.

 

බස්රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ දී මෝටර් රථයේ කුඩා දරුවෙකු ඇතුළු පස්දෙනෙකු ගමන් කර ඇත.

අනතුරින් මෝටර් රථය පැදවූ රියදුරු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ඔහු රන්දෙනිගොඩ යාය, හඳපානාගල, වැල්ලවාය ලිපිනයේ පදිංචි එල්.ජීනදීෂ්කුමාර නැමැති තිස්පස් හැවිරිදි පුද්ගලයකු බව කුඩාඔය පොලීසිය පැවසීය.

එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර තුවාල ලැබූ ගැබිනි කාන්තාව ඇතුළු කාන්තාවන් තිදෙනා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කිරිමේන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි කුඩා දරුවාට කිසිදු හානියක් සිදුවී නොමැති අතර බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව බව පොලීසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (25) වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන ඌව කුඩාඔය පොලීසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

Read more

Local News