අගමැති මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙයි

57

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යල සඳහා අවශ්‍ය ගොඩනැගිලි ලබාදෙමින් ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

පසුගිය දිනවල දිවයිනේ දකුණ ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්ත්වයේදී පරිපාලන යාන්ත්‍රණයේ ඇති වටිනාකම අවබෝධකර ගැනීමට හැකි වු බව පෙන්වා දුන් අගමැතිවරයා 2003 ගංවතුර අවස්ථාවේදීත්, 2004 සුනාමි අවස්ථාවේදීත් ජනතාවට සහන සැලසීම සිදු කළේ මෙම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කර ගිනිමින් බව ද සඳහන් කළේය.

2020 පමණ වන විට පැය 3-4 න් මහනුවර සිට හම්බන්තොට දක්වා ගමන් කිරීමේ හැකියාව ලැබෙන බවත් ඒ වගේම ක්‍රියාකාරී වරාය දෙකක් ඇති කිරීමට අපට හැකියාව ලැබී තිබෙන අතර ඒ යටතේ හම්බන්තොට වරාය ක්‍රියාකාරී වරායක් බවට පත් කිරීමට  හැකි වූ බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.

තවත් ටික දවසක් ගත වන විට මත්තල ගුවන් තොටුපළත් ක්‍රියාකාරී මට්ටමකට ගෙන ඒමට හැකි වන අතර ඒ අනුව අපේ රටට ගුවන් තොටුපළ 02 ක සහ වරාය 02 ක සේවය ලැබෙන බවත් ඒ සියල්ලෙහි කේන්ද්‍රස්ථානය බවට මහනුවර නගරය පත් වන අතර සියලු වැඩකටයුතු අවසන් වනවිට කටුනායක සිට මහනුවරට ගමන් කිරීමට ගත වන්නේ පැයකටත් අඩු කාලයක් බවත් අගමැතිවරයා සඳහන් කළේය.

“මහනුවර අධිවේගී මාර්ගය සඳහා ශ්‍රී ලංකාවේ මුදල් මෙන්ම චීනය, ජාපනය ඉන්දියාව ආදී රටවල් ද මුදල් ලබා දෙනවා. මහනුවර සංවර්ධනයේ මූලික නගර සැලසුම මේ වන විට ජපානය සමග සාකච්ඡා කර සිදු කරමින් සිටිනවා. සංචාරකයින් මහනුවර නගරයේ තව දුරටත් රඳවාගැනීම අරමුණු කරගනිමින් බෝගම්බර සංචාරක සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇති කරනවා. මීට අමතරව ජපාන ආයෝජනය මත ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත කර්මාන්ත කලාපය මහනුවර ප්‍රදේශයේ ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් හා ජල පහසුකම් තිබෙනවා ද යන්න පිළිබඳවත් අප සළකා බලමින් සිටිනවා. මේ සියල්ල සමඟ මහනුවර වෙනස ආරම්භ වනවා. නමුත් තවත් වැඩකටයුතු රාශියක් සිදු කිරීමට තිබෙනවා. මෙම දියුණුව මහනුවර සිට දිගන දක්වා ගෙන යා යුතුයි. අතීතයේ කොළඹ සංවර්ධනය සීමාවූයේ කොටුවට පමණයි. පසු එය පාමංකඩ ආදී ප්‍රදේශ දක්වා පැමිණියා. අද එය ජයවර්ධනපුර කෝට්ටේ අගනුවර වීම දක්වා දියුණුවී ව්‍යාප්ත වී තිබෙනවා. ඒ ආකාරයට මහනුවරින් පසු දිගන ප්‍රදේශයත් දියුණු නගරයක් බවට පත්කළ යුතුයි. ඊට සැලසුම් අවශ්‍යයයි. පාසැල්, වෙනත් පහසුකම් ආදිය අවශ්‍යයි.

ශ්‍රී ලංකාවේ පළමු විශ්ව විද්‍යාලය ආරම්භ කළේ මහනුවරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය මෙන්ම තොරතුරු තාක්ෂණය, අනෙක් තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම ආදියත් මහනුවර නගරය තුළ සංවර්ධනය කළයුතුයි. මේවා සියල්ල සිදු කළ යුත්තේ සැලසුම් සහගතවයි. එසේ නොමැති වුවහොත් බලාපොරොත්තු වන දියුණුව ඇති වන්නේ නැහැ. එම සංවර්ධනයට අවශ්‍ය ඉදිරි පියවර අපි ගනිමින් සිටිනවා.

මහනුවර නගරයේ දියුණුවට සංවර්ධන වැඩ කටයුතු රැසක සදහා අවධානය යොමු කරන කාලය දැන් එළඹ තිබෙනවා. ඒ වගේම දොඩම්ගස්ලන්ද, බිංගිරිය ආදී ප්‍රදේශවල දියුණුවටත් අවශ්‍ය කටයුතු අපි සැලසුම් කර තිබෙනවා. ඒ අනුව අපේ සංවර්ධන සැලසුම් හරහා වයඹ දකුණු කොටස, මහනුවර, කෑගල්ල ආදී ප්‍රදේශත් අපි දියුණු කරනවා. සියල්ල සංවර්ධනයේ මූලික පියවර ලෙසයි අප සලකන්නේ. වසර 15 – 20 ක දීර්ඝ කාලීන සැලසුමක් දෙස අවධානය යොමු කිරීමේදී අප කෙටිකාලීන පියවර සඳහාද සූදානම් විය යුතුයි. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වනවා නම් කොළඹ වරාය තවත් දියුණු  කළ යුතුයි. එමෙන්ම ත්‍රිකුණාමල වරාය දියුණු කළ යුතුයි. එම වරාය ද්විත්වය දියුණු වූ විට එය ඒකාබද්ධ කිරීම සිදු වන්නේ මහනුවර නගරය හරහායි. ඒ අනුව වරාය  02ක් අතර කේන්ද්‍ර නගරය බවට මහනුවර පත් වෙනවා.

එමනිසා ඉදිරි වසර 5 – 6 තුළත් ඉදිරි දශකයෙන් පසුවත් ඇතිවන දියුණුවට ගැලපෙන ආකාරයට මහනුවර නගරය දියුණු කිරීමට අපේ අවධානය යොමු වී තිබෙනවා. ඒ වගේම පරිසරය ආරක්ෂා කිරීමටත් අප කටයුතු කරනවා. ඒ අනුව ඉදිරියේදී මහනුවර වෙනුවෙන් විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මැතිවරණයෙන් පසුව මම මෙහි පැමිණි නිලධාරීන් එක්කාසු කරගෙන මහනුවර කෙටි කාලීන සහ දීර්ඝ කාලීන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජපානය  සමගත් තවදුරටත් සාකච්ඡා කරනවා” යැයි අගැමැතිවරයා වැඩිදුරටත් පැවසීය.