කොටස් වෙළෙඳපොළ පැය 03කට හෙට විවෘත වෙයි

Share

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මෙම සතියේ මුල් වරට හෙට(20) උදෑසන ආරම්භ කෙරෙන බව එහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන, කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් වෙත දැනුම් දී සිටී.

 

කෙසේ වෙතත් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා විවෘත වන සාමාන්‍ය කාලසීමාව හෙට දිනයේ දී විවෘත නොවනු ඇත.

සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු සඳහා පෙරවරු 9.30 සිට පසුවරු 2.30 දක්වා විවෘත වන නමුත් හෙට දිනයේ දී ගනුදෙනු සඳහා එය විවෘත වන්නේ පෙරවරු 10.00 සිට පස්වරු 1.00 දක්වා කාල සීමාව තුළ යි.

මේ අනුව සාමාන්‍යයෙන් පැය 05ක කාලයක් දෛනික ගනුදෙනු සඳහා විවෘත කෙරෙන කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට දිනයේ දී පැය 03ක කාලයක් සඳහා පමණක් විවෘත කෙරෙනු ඇත.

මෙලෙස කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත වන්නේ පසුගිය මාර්තු 13 වනදායින් පසුවය.

මේ අතර කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරීවරයා සිය නිවේදනය තුළින් අවධාරණය කර සිටින්නේ, මාර්තු 20 සිට 27 දක්වා කාලය තුළ රජය විසින් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයින් වෙත දන්වා ඇති පරිදි නිවසේ සිට සිය රාජකාරි කටයුතු කිරීමට හැකියාවක් පවතින්නේ නම්, කොටස් වෙළෙඳපොළ සාමාජික/ වෙළෙඳ සාමාජික ආයතනවල කාර්ය මණ්ඩලයෙන් එසේ කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවයි.

Read more

Local News