මධ්‍යස්ථාන 22ක පුද්ගලයින් 3063ක් නිරෝධායනයට

Share

COVID 19 සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගන්නා අතර ද සොයිසා සහ කාසල් වීදියේ කාන්තා රෝහල්වල වෛද්‍යවරුන් සේවා මුර අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.

 

මේ අතර කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද වෛරස් රෝගීන්ට ප්‍රතිකාර සඳහා යොදාගැනීමට නියමිතයි.

මෙරට තුළ ස්ථාපිත කරන ලද නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 3000කට අධික පිරිසක් රඳවා සිටින බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

රැදවුම් මධ්‍යස්ථාන 22ක් තුළ පුද්ගලයින් 3063ක පිරිසක් මේ වන විට නිරෝධායනයට ලක් වන අතර විදේශිකයින් 31 දෙනෙකු ද එම පිරිස අතර වන බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

මීට අමතරව සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, යුධ හමුදාව, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් විසින් හදුනාගත් දස දහසක පමණ පිරිසක් ස්වයං නිරෝධායන ක්‍රියාවලියට අනුගත කිරීමට උපදෙස් ලබාදී තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සදහන් කළේය.

ඊයේ දිනයේ සිට නැගෙනහිර කොළඹ මූලික රෝහල සම්පුර්ණයෙන්ම කොවිඩ් නයින්ටින් ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා භාවිතයට ගන්නා බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

දැඩි සත්කාර ඇදන් 36ක් සහ සාමාන්‍ය ඇදන් 130ක් පමණ එම රෝහලේ අන්තර්ගත වන අතර මාතෘ රෝගීන්ට සහ කුඩා ළමුන්ට ප්‍රතිකාර කිරීමට ද පහසුකම් සපයා තිබේ.

මීට අමතරව වොයිස් අමෙරිකා ආයතනයට අයත් ගොඩනැඟිලි සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කටයුතු සිදුකෙරෙනවා.

හෝමාගම මුලික රෝහල ද සැක කටයුතු වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා පමණක් වෙන් කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මෙරටින් හදුනාගත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් 77 දෙනාගෙන් 69 දෙනෙකු අයි.ඩි.එච්.රෝහලේ ප්‍රතිකාර ලබයි.

සිව්දෙනෙකු අනුරාධපුර මහ රෝහලේ සහ සෙසු තිදෙනා වැලිකන්ද මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

මෙම ආසාදිතයින් අතරින් 48 දෙනෙකුම විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේය.

Read more

Local News