ඉන්දීය අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි

Share

ලොක්ඩවුන් ක්‍රියාමාර්ග නිසා ඇති වී තිබෙන දැවැන්ත අර්බුදය හේතුවෙන් සමාව දෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී එරට දුප්පත් ජනතාවගෙන් අද (29) ඉල්ලීමක් කළේය.

දින 21 එනම් සති තුනක කාලයක් සඳහා ‘ලොක්ඩවුන්’ හෙවත් රට වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉකුත් දා ප්‍රකාශ කළේය.

මේ තත්ත්වය හේතුවෙන් රටතුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී තිබෙන අතර එම තීරණය ගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි චෝදනා එල්ල වී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගත් ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ග හේතුවෙන් ඉන්දියාවේ මිලියන ගණනක් දුප්පත් ජනතාව පීඩාවට පත්ව සිටිති. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුහු කුසගින්නේ පසුවන අතර බොහෝ සංක්‍රමණික සේවකයන්ට ඔවුන්ගේ රැකියා අත්හැර දැමීමට සිදුව ඇත. රැකියා අහිමි වුණු ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් නගර අත්හැර තමන්ගේ උපන් ගම්බිම් දක්වා කිලෝමීටර ගණනක් ඇවිදයන අයුරු දැක්වෙන ඡායාරූප රැසක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

‘‘මම මුලින්ම මගේ රට වැසියන්ගෙන් සමාව ඉල්ලනවා’’ යැයි අග්‍රාමාත්‍ය මෝදි ගුවන්විදුලිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

අප මේ අවුලට දැම්මේ අග්‍රාමාත්‍යවරයා යැයි දුප්පත් ජනතාව හිතනවා ඇති. ඔවුන් අනිවාර්යෙන්ම එසේ හිතෙනවා ඇති. එහෙත් වෙනත් විකල්පයක් නැති බව ජනතාව තේරුම් ගනු ඇතැයි මම හිතනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීය.

‘‘අපි දැනටම පියවර රැසක් ගෙන තිබෙනවා. එය කොරෝනා වයිරසයට එරෙහිව අපට ජයග්‍රහණය අත්පත් කර දේවි’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.
ඉන්දියාවේ දුප්පත් ජනතාවට සහන සැලැසීම සඳහා ඉන්දීය රජය ඉකුත් දා ඇමෙරිකානු ඩොලර් බිලියන 22.6ක සහන පැකේජයක් ද නිවේදනය කළේය.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3ක් වන අතර එරට මහජන සෞඛ්‍ය පද්ධතියා දුර්වල යැයි ද විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

දුප්පත් ජනතාවට සහන සැලැසීම සඳහා තවදුරටත් මුදල් අවශ්‍ය යැයි පසුගිය වසරේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනූ තිදෙනාගෙන් දෙදෙනකු වන අබිජිත් බෙනර්ජි සහ එස්තර් ඩුෆ්ලෝ යන දෙදෙනා පැවැසූහ.

 

Read more

Local News