ලෝක සෞඛ්‍ය සංවිධානය කාෙරෝනා ගැන දැඩි අවධානය යොමු කරයි

Share

නව කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වීම සහ ලොව පුරා පැතිර යාම කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි අවධානයෙන් සිටින බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනම් පවසයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, අද  වන විට ලොව පුරා නව කොරෝනා වසංගත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 936,237ක් වන අතර මරණ 47,249 ක් වාර්තා වී තිබේ.

දින කිහිපයක් තුළ එම වසංගත ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයක් දක්වා ඉහළ යනු ඇති අතර පුද්ගලයින් 50,000 ක් මිය යනු ඇති බව ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

රටවල් හා කලාප  203ක ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 932,605කට අධිකයි .

කොරෝනා වසංගතය පැතිරීමත් සමඟ ආසන්න වශයෙන් බිලියන 7.2 ක ජනතාවක් සංචාරක සීමාවන් සහිත රටවල ජීවත් වන බව නව විශ්ලේෂණයකින් අනාවරණය වී තිබේ.

එය ලෝක ජනගහනයෙන් 93% ක් බවයි පැවසෙන්නේ.

නව කොරෝනා ආසාදිතයින් වැඩි වශයෙන්ම වාර්තා වූ රට බවට පත්ව ඇති අමෙරිකාව අද සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂය ඉක්මවූ පළමු රට බවට පත්ව තිබේ.

ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 215,300ක්.

ඊයේත් මරණ 900කට අධික සංඛ්‍යාවක් එරටින් වාර්තා වන අතර,සමස්ත මරණ සංඛ්‍යාව 5,110ක්.

සෙසු රටවල් හා සංසන්දනය කිරීමේදී ඉතාමත් කෙටි කාලයකින් අමෙරිකාව මරණ 5000 සීමාව ඉක්මවා යාම විශේෂත්වයක්.

වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය ලාබාලතමයා බවට පත්වෙමින් කනෙක්ටිකට් ප්‍රාන්තයේදී මාස හයක් වයසැති දරුවෙක් මියගොස් තිබේ.

වසංගතය හේතුවෙන් ඇමරිකාවේ ජනපද 30ක් දැඩි ආපදා තත්ත්වයට ලක්ව ඇති අතර වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නිව්යෝර්ක් ජනපදයටයි.

ඉතාලියෙන් ආසාදිතයින් 110,574 වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව  13,155ක ඉහළ අගයක් ගනු ලබයි.

පවතින තත්ත්වය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවා රට අකර්මණ්‍ය කිරීමට ගෙන ඇති තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබුණි..

ස්පාඤ්ඤයෙන්ද වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 9,387 ලෙසයි.

එමෙන්ම ආසාදිතයින් ගණන 104,118 ඉක්මවා තිබෙන්නේ, ඉතාලියෙන් පසුව වැඩිම හානියක් සිදුවූ දෙවැනි යුරෝපා රාජ්‍යය බවට ස්පාඤ්ඤය පත්කරමින්.

මේ අතර යුරෝපයේ තවත් රාජ්‍යය රැසකින් කැපීපෙනෙන මරණ සංඛ්‍යාවක් වාර්තා විය.

ඒ ප්‍රංශයෙන් මරණ 4,032ක්, එක්සත් රාජධානියෙන් මරණ 2,352 නෙදර්ලන්තයෙන් මරණ 1,173ක්, ජර්මනියෙන් මරණ 931ක් සහ බෙල්ජියමෙන් මරණ 828ක්ද ලෙසින්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු සුවය ලබා තිබේ.

Read more

Local News