අලුත් අවුරුදු සමයෙන් පසු වෛරස අවදානමෙන් තොර ප්‍රදේශවලට දැනට පවතින සීමාවන් ඉවත් වෙයි

Share

එළඹෙන අලුත් අවුරුදු සමය අවසන් වීමත් සමඟ කොවිඩ් නයින්ටීන් වෛරස අවදානමෙන් තොර දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක සීමාවන් ඉවත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

 

එම නිසා අලුත් අවුරුදු අවසානය තෙක් කොරෝනා මර්දන වැඩසටහන පවත්වාගෙන ගොස් පවතින තත්ත්වය විමර්ශනය කර ඊලඟ පියවර තීරණය කිරීමට නියමිත බවයි මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

එම සාකච්ඡාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිට ඇති බව සඳහන්.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙතෙක් සිදුකළ අයුරින්ම වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණය ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාල ක්ෂේත්‍රවල විශේෂඥයින් දැනුම් සහ නිර්දේශ මත පදනම් වෙමින් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

රෝගයේ ගෝලීය ව්‍යාප්තිය නිරීක්ෂණය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය වරින් වර සිදුකරන නිර්දේශ අධ්‍යයනය කොට සුදුසු පරිදි පිළිපැදීමට ද මෙම සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.

එමෙන්ම දැනට ආරම්භ කර ඇති කොරෝනා මර්දන වැඩසටහන වඩා විධිමත්ව තත්ත්වය යහපත් වන තුරු ඉදිරියට ගෙන යෑමට ද මෙම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Read more

Local News